බෝවන ඉන්නන් ඇතිවෙන හැටි දැනගන්න.


හැට පැන්නත් වඳුරා බිමින් නොයනවාක් මෙන් වයස කීයක් වුණත් කාන්තා පක්ෂය රුව ගැන දක්වන උනන්දුව නම් අඩු වන්නේ නැත. ඇතැම් විට ඔවුන් නැති අඩුපාඩුවක් පවා සොයමින් පිළියම් සොයන්නේ මේ රුව ගැන ඇති ලෝබ සිත නිසාය.

රැලි වැටුණු සමෙහි ඇද ඇර තරුණ පෙනුමක් ලබා දීමේදී මුහුණ සම්බාහනය කිරීම, වාෂ්ප කිරීම, ආලේප ගැල්වීම ආදී විවිධ ක්‍රම උපයෝගී කරගනී. මෙහිදී භාවිත කරන ඇතැම් රසායන ද්‍රව්‍ය නිසා තෙල් සහිත ආලේපන නිසා, සුළු අතුරු ආබාධ ඇතිවිය හැකියි. සම රතුවීම, දැවිල්ලක් ඇතිවීම ඒ අතරින් ප්‍රධානයි. මේවා බොහොමයක් තාවකාලිකය. එහෙත් ප්‍රශ්නයක් මතු වන්නේ ගෙඩි මෙන් අතට අසුවන කුරුලෑ හට ගැනීම නිසයි. විශේෂයෙන් නිකට අවට තදින් ඇතිල්ලීමේදී, සම්බාහනය කිරීමේදී මෙවැනි කළු පැහැති ගැට මතු විය හැකියි.

කුරුලෑවලට අමතරව පිග්මන්ටේෂන් ලෙස හඳුන්වන තත්ත්වයට ද සම්බාහනය හේතු වෙයි.

මේ නිසා කුරුලෑ ඇත්නම් මුහුණු සම්බාහනය (ෆේෂල් මසාජ්) සුදුසුම නැත.

සම්බාහනයෙන් ගැට හා සමාන කුරුලෑ ඇතිවූ විට සුව කිරීම අසීරුය. ඒවා සුව කිරීමට රෙටිනොයිඩ් කාණ්ඩයේ ඖෂධ අවශ්‍යයි. කුරුලෑ, සම කළු වීමට අමතරව ඇති විය හැකි තවත් ගැටලුවක් වන්නේ හදිස්සියේ ඇතිවිය හැකි අසාත්මිකතායි. තද දැවිල්ලක්, රතු ගතියක් ඇතිවන්නේ අසාත්මිකතා නිසයි.

අනවශ්‍ය රෝම බොහෝ කාන්තාවන්ට ඇති බරපතළම ගැටලුවකි. ලප නැති සඳ මෙන් රෝම කූපයක් නැති සමකට ද කාන්තාවන් ඉතා කැමැතිය. සමේ රෝම ඉවත් කරන “ත්‍රෙඩිං ක්‍රමයෙන් සහ රෝමවල පැහැය සමට ගැළපෙන පැහැයට වෙනස් කරන “බිලීචිං” බරපතළ ආබාධ ඇති කරයි.

මේ ක්‍රමවේදයන්වලදී භාවිත කරන ඇමෝනියම් පර්සල්පේට් නිසා තොල් අවට රතු පලු හට ගනී.

උඩු තොලේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම, ඇහිබැමේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම නිසි අයුරින් සිදු නොවුණොත් නොපෙනෙන රෝම කූපයකට වඩා බෙහෙවින් කැපී පෙනෙන අනවශ්‍ය ගැටලු රැසක් මතු වෙයි. රෝම කූප ආශි‍්‍රතව එන ප්‍රදාහ තත්ත්ව ඒ අතරින් ප්‍රධානය.

රෝම වගේම ඉන්නන් ද රූ සපුවට හිරිහැරයක් කරගෙන ඇත. සමහර ඉන්නන් මතු වීමට හේතුව වයස් ගත වීමයි. මීට අමතරව බෝ වන ඉන්නන් ද ඇති වෙයි. එක් අයකුගේ ඉන්නන් ඉවත් කිරීමට භාවිත කළ උපකරණ ජීවානුහරණය නොකර තවත් කෙනකුට භාවිත කිරීමේදී කලින් තැනැත්තාට තිබුණේ බෝ වන ඉන්නන් නම් අනෙක් තැනැත්තාට ද බෝවෙයි.

මේ නිසා ඉන්නන් ඉවත් කිරීමට යන ඔබ උපකරණ ජීවානුහරණයකර තිබෙනවාදැයි සැකහැර දැනගත යුතුය.

රෝම හිතට කෙතරම් වධ දෙන කාරණයක් වුවත් නිතර නිතර රෝම ඉවත් කිරීම නම් නුවණට හුරු නැත.

ඊට හේතුව නිතර ඉවත් කිරීමේදී පහසුවෙන් රෝම කූප බැක්ටීරියා මඟින් ආසාදනය වීමයි.

ඇසි පිය හෙළන දෙවඟනක් සේ පෙනෙන්නට කෙතරම් කැමැති වුවත් ඇසිපිය වර්ණ ගන්වන්නට යාමේදී බෙහෙවින් සැලකිලිමත් විය යුතුයි. එක් අයකුට වර්ණ ගැන්වීමට භාවිත කරන පැන්සල, පින්සල තවත් අයකුට භාවිත කිරීම විසබීජ ප්‍රවාහනය වන හොඳම ක්‍රමයකි. සැෆයිලොකොකස් වැනි බැක්ටීරියා නිසාත් රෝම කූප ආසාදනය වීම සුලබය. ෆියුසේරියම් වැනි තරමක් දරුණු බැක්ටීරියා ද පැන්සල්, පින්සල් මඟින් පැතිරෙයි. මෙවැනි ක්‍රම මඟින් සියුඩොමොනාස් වැනි දිලීර ආසාදනය වී සදහටම ලස්සන දකින වරම අහිමිවී යා හැකියි.

ඇස් රතුවී, සැරව ගලා ආසාදනය වී සම්පුර්ණයෙන්ම කෙනකු අන්ධ වීමට පවා පුළුවන.

ගැහැනුන් වාගේම පිරිමින් ද රුව වඩන්න යාමේදී සැලකිලිමත් විය යුතුය.

රැවුල පිරිසුදු කරන උපකරණ පවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙන් වශයෙන් තබා ගත යුතුය.



බලපිටිය මූලික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය අජිත් කන්නන්ගර.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



0 comments: