ගැබිනි මවට අත්‍යවශ්‍යම විටමින් ඩී.


ගර්භණී සමයේදී පෝෂණය ඉතාම වැදගත්. මව ගන්නා ආහාර දරුවාගේ වර්ධනය, බුද්ධිය සහ දරුවාගේ අනාගතය පවා තීරණය කරන සාධකයක් වෙන්න පුළුවන්.

ඒ, බී, සී, ඩී, ආදී වශයෙන් විටමින් වර්ග කීපයක් තිබෙනවා. ඒවා කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. ඉන් එක් වර්ගයක් ජලයේ දියවන විටමින් ලෙසත් අනෙක් වර්ගය මේදයේ දියවන ලෙසත් වර්ග කළ හැකියි. මින් විටමින් ඩී අයත් වන්නේ මේදයේ දියවන විටමින් කාණ්ඩයටය.

විටමින් ඩී සිරුරට අත්‍යවශ්‍ය විටමින් වර්ගයක්. එය ගර්භණී සමයේදී අත්‍යවශ්‍යම විටමිනයක් ලෙසත් සැලකෙනවා. විටමින් ඩී ස්වභාවිකව ලබාගත හැකි ක්‍රමයක් ලෙස සූර්යාලෝකය හඳුන්වන්න පුළුවන්. උදෑසන පතිත වන සූර්යාලෝකයෙන් සමට විටමින් ඩී ලබාදෙනවා.

සිරුරට විටමින් ඩී ලබාගත හැකි අනෙක් ක්‍රමවේදය විදියට විටමින් ඩී අඩංගු ආහාර පරිභෝජනය හඳුන්වනවා. ගර්භණී සමයේදී වෙනත් රටවල විටමින් ඩී පෙත්තක් විදියට ලබා දුන්නත් ලංකාවේ එවැනි ක්‍රමවේදයක් නැත. ඒ සූර්යාලෝකය හොඳින්ම තිබෙන නිසායි.

සාමාන්‍ය මනුෂ්‍යකුගේ ඇඟේ කැල්සියම්, පොස්ෆරස් ප්‍රශස්ත මට්ටමේ තබාගැනීමට විටමින් ඩී අවශ්‍යයි. අස්ථි, දත් සඳහා කැල්සියම් අවශ්‍ය වනවා. අම්මාගෙන් බබාට ලැබෙන විටමින් ඩී ප්‍රමාණය අඩු වුණාම කැල්සියම් හිඟ වීම නිසා අස්ථි හා දත් විකෘති විය හැකියි. ඒ වගේම අසාමාන්‍ය අස්ථි වර්ධනයත් එහි එක් අවස්ථාවක්. බර අඩු දරුවන් බිහිවීමටත් විටමින් ඩී හිඟවීම හේතුවනවා.

බාහිරින් අපේ සිරුරට එන විසබීජවලට එරෙහිව සටන් කරන්න, දියවැඩියාව, සමහර පිළිකා වර්ග වැළැක්වීමට සිරුර තුළින්ම නිපදවන ශක්තියට විටමින් ඩී අවශ්‍ය වනවා. මවක් ප්‍රසූතියෙන් පසුවත්, මවුකිරි දෙන කාලයේත් විටමින් ඩී ගැනීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසයි.

විශේෂයෙන්ම මාළු අක්මා තෙල්වල, මෝරගුළි, බිත්තර, ධාන්‍ය, කිරිවල විටමින් ඩී තිබෙනවා. ඒ වගේම උදෑසන සිට වැටෙන සූර්යාලෝකයෙත් විටමින් ඩී බහුලයි.


හංසි ආටිගල.
උපදෙස් : විශේෂඥ වෛද්‍ය ඉන්දික සේනාරත්න - ප්‍රසව හා නාරිවේදී.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



0 comments: