කොණ්ඩය ස්ට්‍රේට් කරන අයට පිළිකා.


කොණ්ඩයට විවිධ විලාසිතා කරමින් හැඩවෙන්න යුවතියන් වැඩි කැමැත්තක් දක්වනවා. නමුත් නිතර නිතර කොණ්ඩයට කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය එක් කරමින් කරන විලාසිතාවලදී ඔබට සිදුවන හානි ගැනත් වැඩි සැලකිලිමත් බවක් තිබිය යුතුමයි. කාලයෙන් කාලයට එන විලාසිතාවලින් හැඩ වන ඔබේ හිසකෙස්වලට මෙවැනි හානි සිදු වෙනවාදැයි ඔබත් සැලකිලිමත් වන්න.

  • හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බ්ලීචිං හා ඇමෝනියා මඟින් සිදුවන දේ.
හිස කෙස් පැහැය ළා වර්ණ හෝ තද වර්ණ ගැන්වීමට නම් ඉහත කී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, බ්ලීචිං හෝ ඇමෝනියා ආදිය යෙදීමට සිදුවනු ඇත. මෙලෙස කෙස් ගස්වල පැහැය වෙනස් කිරීමට යොදන රසායන ද්‍රව්‍ය මඟින් කෙස් ගසට හානිවෙයි. කෙස් තඹ පැහැ කිරීමේදී කෙස් ගස වියළි වෙමින් කැඩී යෑමට ලක්වෙයි. මේ ආකාරයට කෙස් ගස් මියයෑම සිදුවෙයි. මෙම සත්කාර කිරීමේදී ඔබ සැම විටම තෝරාගත යුතු වන්නේ ප්‍රවීණ පළපුරුදු කේශලාවණ්‍ය ශිල්පියකු හා ප්‍රමිතිගත නිෂ්පාදනයි. මන්ද මේ නිෂ්පාදනවල අඩංගු වන පෙරොක්සයිඩ් 20%ටත් වඩා ඉවත් කළ යුතු නිසයි.


  • ෆෝමැල්හයිඩ්වලින් සිදුවන හානි.
කොණ්ඩය ස්ට්‍රේට් කිරීමට යොදන නිෂ්පාදනවල ෆෝමැල්හයිඩ් රසායනය අඩංගුවීම අත්‍යවශ්‍ය කාරණයකි. නමුත් මෙය පාවිච්චි කිරීමේදී වඩාත් සැලකිලිමත් වෙන්න. ෆෝමැල්හයිඩ් පිළිකා කාරක ද්‍රව්‍යක් වන නිසා මෙය හැකිතාක් අඩුවෙන් භාවිත කිරීමට වගබලා ගන්න. හොඳින් වාතාශ්‍රය එන ස්ථානයක මෙම සත්කාරය සිදු කිරීම වැදගත් වන්නේ මෙනිසයි. කෙරටින් සත්කාරය ෆෝමැල්හයිඩ් සහා උෂ්ණත්වය සමඟ සිදුකරන විට අධි භාවිතය නිසා හිසකෙස් හා හිස් කබලද පිලිස්සීමට ලක්විය හැකියි.


  • අධික උෂ්ණත්වය නිසා වන බලපෑම්.
කොණ්ඩයට විවිධ සත්කාර හා විලාසිතා කරන විට උෂ්ණත්වය සහිත විවිධ යන්ත්‍රවල බලපෑම නිතරම සිදුවෙයි. රසායන ද්‍රව්‍යත් සමඟ උෂ්ණත්වය කෙස්වලට කා වැදීමෙන් එයට හානි සිදුවිය හැකියි. ශරීරයේ අනෙක් අංග සේම හිසකෙස්වලද ජලය අන්තර්ගතයි. විලාසිතා කරන හිසකෙස්වලට ෆැරන්හයිඩ් අංශක 212ට වඩා වැඩි උෂ්ණත්වයක් බලපාන විට හිස කෙස්වල ඇති ජලය ඉක්මනින්ම වාෂ්ප වී යයි. මේ නිසා හිසකෙස්වල ස්තරය පැළීමට ලක්වීම, ඉරිතැළීම හා එහි ඇති ස්වාභාවික දිස්නය නැතිව යෑමද සිදුවෙයි. කෙස්වල ඇති තෙතමනය හා තෙල් සහිත බවටත් මෙම සත්කාර හානිකරයි. මෙනිසා හැමවිටම පළපුරුදු ප්‍රවීණ කේශලාවණ්‍ය ශිල්පියකු අතින් මෙම සත්කාර සිදු කර ගැනීම වැදගත්ය.


  • පීරන විට සිදුවන හානි.
සිනිඳු කෙස් ගස් පනාවෙන් වැරැදි ආකාරයට නිතර පිරීම නිසාත් කෙස් ගසට හානි විය හැකියි. විවිධ රසායන ද්‍රව්‍ය යොදා කෙස් ගස් බුරුසුවකින් පීරන විට ඒ තුළට එම ද්‍රව්‍ය පහසුවෙන් ඇතුළු වී එය වියළි බව ඇති කරමින් කෙස් ගස් පුපුරා යයි.

  • අගිස් පැළීම.
රසායන ද්‍රව්‍ය මඟින් වන බලපෑම වඩාත් හොඳින් පෙනී යන්නේ කෙස් ගසේ අගිස් පැළී යෑමෙනි. කෙස් ගසේ මතුපිට ස්තරයට හානිවීම මෙයට හේතුවයි. මෙලෙස හානි වූ හිස කෙස් පීරීමෙන් පසුව බොකුටු ස්වභාවයක් ගනියි.


  • ආසාත්මිකතා.
බ්ලිචිං සමඟ විවිධ විලාසිතා කෙස් ගසට සිදු කිරීමේදී විවිධ ආසාත්මිකතා ඇතිවිය හැකියි. මේවා සමඟ කෙසේ වර්ණ ගන්වන කිසිම අවස්ථාවක හිසට හෝ සමට ස්පර්ශ නොවීමට වග බලා ගන්න. එලෙස සමට හදිසියේ හෝ ස්පර්ශ වුවහොත් එය වහාම ඉවත් කරන්න. වෛද්‍ය ප්‍රතිකාර වෙතද ඔබට පසුව යොමු විය හැකිය.

  • ලාභදායී නිෂ්පාදන භාවිතය.
ප්‍රමිතිගත කේශලාවණ්‍ය නිෂ්පාදන තරමක් මිලෙන් අධික වුවත් හිස කෙස්වල මනා පැවැත්මට මෙවැනි නිෂ්පාදනවලට වැඩි අවධානයක් ලබාදිය යුතුමයි.


ශාලිකා රංගනී සමරදිවාකර.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



0 comments: