සුරතල් සතුන්ගෙන් දරුවන්ට ලෙඩ ගොඩක්.


හුඟක් දෙනෙක් බල්ලෝ, පූසෝ තමයි වැඩිපුරම ඇති කරන්නේ. සමහර අවස්ථාවලදී ලව් බර්ඩ්ස්ලා, හාවෝ, වෙනත් කුරුල්ලන් වර්ග ඇති කරන අයත් ඉන්නවා. කෙසේ වෙතත් පුංචි දරුවෝ ඉන්න ගෙදරක සතුන් ඇති කිරීම කියන්නේ සැලකිය යුතු කරුණක්.

විශේෂයෙන්ම බඩගාන සහ ඇවිදින්න පටන් ගත්ත ගමන්ම පුංචි බබාලා ඉන්න ගෙවල්වල සතුන් සිටීම අනතුරුදායකයි. එයාලට එපා කිව්වට තේරෙන්නේ නැහැ. ඒ නිසා බබා බල්ලන්ගේ, පූසන්ගේ නැට්ටෙන් අදිනවා. එහෙම කළාම ඒ සතුන්ට රිදිලා සූරන්න, හපන්න පුළුවන්. ඒ නිසා බල්ලන්ට, පූසන්ට එන්නත් කරන්න අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා දුන්නාම සතුන්ගෙන් සිදුවන අනතුරුවලදී බය වෙන්න අවශ්‍ය නැහැ.

බල්ලා සහ පූසා පශු වෛද්‍යවරයකුට නිතරම පෙන්වන්න. ඒ වගේම වසරකට වරක් ලබාදිය යුතු එන්නත් ලබාදීමත් ඉතාම වැදගත්. ඒ වගේම පූසෝ සූරනවා, මුහුණට පනිනවා. පූසා හරි කැමැතියි උණුසුමට. ඒ නිසා බබා නිදාගෙන ඉන්න තැනට ගිහිල්ලා ගුළි වෙලා නිදාගන්නත් කැමැතියි.

පූසන්ගේ මවිල්වලින් බබාට ඇදුම ආදී ශ්වසන රෝග සෑදෙන්න ඉඩකඩ තිබෙනවා. ඇදුම තිබෙන බබෙක් නම් ඇදුම රෝගය උත්සන්න විය හැකියි. ඒ වගේම පූසා බල්ලා ඇතුළු සතුන්ගෙන් ජල භීතිකාව සෑදුණොත් එය සුව කරන්න බැහැ.

සතුන් විසින් පිට කරන මල මුත්‍ර ආදියෙනුත් රෝග බෝ වෙනවා. පණු රෝග ඉන් ප්‍රධානයි. වැලිවලට සතුන් මල පිට කළාම වැලි සමඟ මිශ්‍ර වීමෙන් මලවල සිටින පණුවන් පසට එකතු වනවා. පුංචි බබාලා වැලි අනද්දී වැලි කටේ දා ගනිද්දී මේ පණුවන් ශරීර ගත වෙන්න පුළුවන්.

කොකු පණු රෝගය ඉන් එක් පණු රෝග අවස්ථාවක්. මෙම කොකු පණුවාට මිනිස් සිරුර තුළට රිංගන්න බැහැ. ඒ නිසා ඒ පණුව සම මතු පිටින් ඇතුළු වෙලා ඇඟ ඇතුළේ සම මතුපිටින් ගමන් කරවා. සමහර බබාලගේ සම පුරා ඉරි, ඉරි වගේ දක්නට ලැබෙන්නේ ඒ නිසා.

ලව් බර්ඩ්ස්ලා, පරවියන් වැනි කුරුල්ලන් ඇති කිරීමෙනුත් දරුවන්ට හානි සිදු වනවා. ප්‍රධාන වශයෙන් කුරුල්ලන් තටු ගසන විට පිටවන කුඩා මවිල් වැනි ද්‍රව්‍ය නිසා ශ්වසන ආබාධ මතුවිය හැකියි.

සාවුන්ගේ මැක්කන්ගෙන් ඇතිවන සමේ රෝග ආදිය නිසා සාවුන් ඇති කරද්දීත් දරුවන්ගෙන් ඉවත් කර තබන්න. මැක්කන් නිසා කැසීම් ඇතිවන අතරම නිතර නිතර සැර බිබිළි මතු වෙනවා. සම ආශි්‍රත බරපතළ ගැටලු ඇති වීමටත් එය හේතුවක්.

පුංචි බබාලා ඉන්න ගෙදරක සත්තු ඇති කරන්නට ඕනම නම් බබාගෙන් සතුන්ව අෑත් කරලා තියන්න. ඒ වගේම සතුන්ට නිසි එන්නත් හා ප්‍රතිකාර ලබා දීලා ඒ සඳහා අදාළ කාඩ්පත් සුරක්‍ෂිතව තබා ගැනීමටත් වැදගත්. වසරකට වරක් පශු වෛද්‍ය උපදෙස් මත සතුන්ට ප්‍රතිකාර කළ යුතුයි. ඒ වගේම බාබාටත් සතුන් ළඟට ළං වෙන්න නොදී පරෙස්සම් කරගැනීම මවුපියන් සතු වගකීමක්.


හංසි ආටිගල.
උපදෙස් : ළමා රෝග විශේෂඥ වෛද්‍ය මානෙල් ප්‍රනාන්දු 
උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



0 comments: