Office එක ගෙදර අරගෙන යන අයට.

Office එක ගෙදර අරගෙන යන අයට.


හුඟක් කාර්යබහුල ඔබට කාලය කියන්නේ ලොකු වටිනාකමක්. ඒ නිසාම තමයි හුඟක් දෙනා ඔෆිස් එක ගෙදර අරන් යන්නේ. නමුත් කාර්යාල කටයුතු ගෙදරදී පහසු කර ගන්නට නම් ගෙදර පරිසරයත් වෙනස් විය යුතුයි.


  • ඔබේම තැනක් වෙන්කර ගන්න

ගෙදරදී කාර්යාලයීය කටයුතු සිදු කරන්න වෙනම ඔෆිස් කාමරයක් තිබීම ඉතාම වැදගත්. නමුත් එවැනි පහසුකම් සලසාගන්න බැරි නම් නිදන කාමරය වුණත් කමක් නැහැ. ඔබේ කටයුතු කරන වේලාවට කාමරයේ ‍ෙදාර වසා ගන්න. එවිට සුරතලාගේ කෑගැසීම, රූපවාහිනියේ සහ දරුවන්ගේ ශබ්දවලින් ඔබට බාධාවක් නැහැ.

  • සැප පහසු අසුනකට මාරු වෙන්න

හොඳ ආකල්ප කරන කාර්ය සාර්ථක වීමට ඉතාම වැදගත්. ඒ සඳහා සැප පහසුව ඉතාම අත්‍යවශ්‍යයි. අසුන අපහසුදායක තත්ත්වයක තිබෙන විට, කොන්දට සහ බෙල්ලට දැඩි අපහසුවක් දැනෙනවා.


  • සැලැසුමක් නිර්මාණය කරගන්න

ඔබේ සාමාන්‍ය කටයුතු, රැකියාවේ කාර්යයන්, අධ්‍යාපනය ඇතුළු සියලුම දේ සඳහා සුදුසු කාල රාමුවක් නිර්මාණය කර ගන්න. නිවෙසේදී ඔබේ කාර්යාල කටයුතු කරනවා නම් ආරම්භයට මෙන්ම වැඩකටයුත්ත අවසාන කිරීමට වේලාවක් තබා ගන්න. එම කාලය තුළදීම අදාළ කටයුත්ත අවසන් කිරීමට උත්සාහ දරන්න.


  • විවේක ගන්න

නිවෙස ඔබට අයිති තැනක්. කාර්යාලයේදී වගේ නිවෙසේදී නීති දාන්න කවුරුත් නැහැ. ඒ නිසා වැඩකටයුතු අතර පුංචි විවේකයක් ගන්න. තේ ටිකක් බොන්න, නැඟිටින්න, ගෙවත්තට යන්න. නමුත් වැඩක් කරන අතරතුර නම් නැඟිටලා යන්න එපා. එක් වැඩකටයුත්තක් අවසාන කරලම පුටුවෙන් නැඟිටින්න.


  • සෞඛ්‍ය සම්පන්න ආහාර සහ පාන වර්ග

බඩගින්නේ වැඩ කරද්දී ඔබේ කටයුතු නියමාකාරයෙන් සිදු කර ගන්න බැහැ. නමුත් වැඩක් අතරතුර නැඟිටීමෙන් ඒ කරන කාර්යයට බාධා මතු වනවා. ඒ නිසා ආහාර වර්ග කිහිපයක්, වතුර සහ වෙනත් පාන වර්ගයක් ළඟ තියාගන්න. නමුත් ඒ සෑම ආහාරයක් සහ පානයක්ම සෞඛ්‍ය සම්පන්න විය යුතුයි.


  • එළියට යන්න

ඔබට එක දිගටම වැඩ කරන්න පුළුවන් නම් එක දිගටම වැඩ කරලා ඉන්පස්සේ ලොකු විවේකයක් ගන්න. පවුලේ අයත් එක්ක එළියට යන්න කෑමකට යන්න.


  • පරිසරය කළමනාකරණය

නිවෙසේ පරිසරය වැඩ කටයුතු සඳහා අවශ්‍ය පරිදි නිදහස්ව තබාගන්න. පොත්පත් පිළිවෙළට අසුරලා ලියන මේසය පිළිවෙළකට තිබ්බාම, පෑන් - පැන්සල් වැනි අත්‍යවශ්‍ය දේවල් ඉක්මනින් ගන්න පුළුවන් තැන්වලින් තියන්න.


  • දෑසට විවේකය දෙන්න.

හැමදාම, එක දිගටම රාජකාරි කටයුතුවල නිරත වන ඔබේ ඇස් දෙකට විවේකය අවශ්‍යයි. ඒ නිසා දෑසට විවේකය ලැබෙන ව්‍යායාමත් කරන්න.


  • සහාය ලබාගන්න

ඔබේ කටයුතුවලට ගෙදර පවුලේ අය සහභාගි කරවා ගන්න අවශ්‍ය නම් එය ඔබට පහසුවක්. විද්‍යුත් තැපෑල වගේ දේවල් පරීක්ෂා කර ගන්නත් පවුලේ අයගෙන්, බිරියගෙන්, සැමියාගෙන් සහාය ලබා ගන්න.


  • සැහැල්ලු ඇඳුමකට හුරුවන්න

නිවෙසේදී ඔබට කාර්යාලයට වඩා නිදහස්ව හැසිරෙන්න පුළුවන්. ඒ නිසා කාර්යාල කටයුතුවලදී සැහැල්ලු ඇඳුමකින් සැරසෙන්න. එවිට ඔබට ලොකු නිදහසක් දැනෙනවා.


හංසි ආටිගල.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



0 comments: