ලාභ සිනාවෙන් රසික සිත කැලඹූ සුභානි අද ඉකිබිඳියි..



  • වර්තමානයේ නෙවෙයි අපි අතීතයෙන් කතාව පටන් ගමු. තංගල්ලේ හිටපු සුභානි හර්ෂණී රටක් දන්න ගායිකාවක් වුණ හැටි මතකද?

මුල අමතක කරන්නේ කොහොමද? 1999 වසරෙදි ජාතික තරුණ සේවා සභාවෙන් පවත්වපු තුරුණු ශක්ති සංගීත තරගයේ අවසන් වටයට මම ගායනා කරපු 'ලාභ සිනා' ගීතයෙන් තමයි මම ජනප්‍රිය වුණේ. හැබැයි ඊට කලින් ඉඳලාම මම සංගීත ක්‍ෂේත්‍රයේ හිටියා.



  • 'ලාභ සිනා' ගීතයෙන් ආව ඔයා ඊට පස්සේ රසිකයන්ට තවත් ගීත රැසක් තිළිණ කළා. හැබැයි ඒ ඔක්කොම එකම ආරක ගීත නේද?

ඔව් 'ලාභ සිනා' ගීතයෙන් පසුව මම ගයපු එකම එක වරක්, සපත්තු මල, නාන තොටේදි, හම්බන්තොට මූදු වෙරළෙ වගේ ගීත ඔක්කොම එකම ආරක ඒවා තමයි. ඒකට හේතුව වුණේ ලාභ සිනා ගීතයෙන් පස්සේ මාව ජනප්‍රිය වුණා. හැබැයි මම එතකොට මේ ෆීල්ඩ් එකට අලුත්. ආව ගමන් මගේ ආර්ථිකය ඒ තරම්ම ශක්තිමත් වුණේ නැහැ. ඒ නිසා ඒ කාලෙදි මට සිද්ධ වුණා කැසට් නිෂ්පාදන ආයතනයක් සමඟ ගිවිසුමක් අස්සන් කරන්න. අවුරුදු ගාණක් යනකම් ඒ අයට අවශ්‍ය නිර්මාණ තමයි ගායනා කරන්න වුණේ. මටත් කරන්න දෙයක් තිබුණේ නැහැ. අකැමැත්තෙන් වුණත් ඒ වාගේ ගීත ගායනා කරන්න වුණා.



  • හැබැයි ඒ ගීතවලින් පස්සේ සුභානි ගොඩාක් නිහඬවෙලා කියලා හිතෙන්නෙ නැද්ද?

නැහැ. මම නිහඬ වෙලා නැහැ. හැබැයි කාලයක් නම් නිහඬවෙලා හිටියා. රසිකයන් හිතනවා ඇති රූපවාහිනියේ පේන්න නැති නිසා මම නිහඬයි කියලා. ඇත්ත මගේ ගම තංගල්ලේ. ඉතින් එහේ ඉඳලා හැමදාම මට කොළඹ එන්න අමාරුයි. ඒකයි මාව නිතරම ටී. වී. චැනල්වල දකින්න නැත්තේ. ඒ වුණාට මම අලුත්ම ගීත මගේ රසිකයන් වෙනුවෙන් තිළිණ කරලා තියෙනවා. මේ දවස්වල මගේ අලුත්ම සහ ජනප්‍රියම ගීතය තමයි 'ඉකිබිඳින නෙතු අගට' කියන ගීතය.


  • 'ඉකිබිඳින' ගීය ඔයාගේ අනිත් ගීතවලට වඩා වෙනස්. ඒ කියන්නේ ඔයා දැන් කැසට් නිෂ්පාදකයන්ගෙන් ගැලවිලා ස්ථාවරත්වයට පත්වෙලා කියලද?

මේ ගීතය පද රචනා කළේ ශාලුක මධුශංක. සංගීතවත් කළේ මාර්ක් රුක්මන්. මේක මම මෙතෙක් ගායනා කළ ගීතවලට වඩා වෙනස් කියලා මම හිතනවා. ඒකට හේතුව තමයි මම දැන් ඇත්තටම ස්ථාවරයි. තනිවම නිර්මාණ කර ගන්න පුළුවන් නිදහස මට දැන් තියෙනවා. මම හිතනවා මේ ගීතයට වඩා මගේ ඊළඟ ගීතය වන 'ආදරෙන්' කියන ගීතය වඩා ජනප්‍රිය වේවි කියලා. ඒකෙ පද රචනා කළේ නිහාල් වික්‍රම එදිරිසූරිය, සංගීතවත් කළේ සදීෂ් වැන්දබෝනා යන දෙන්නා. ඒක මම දැනට ගුවන්විදුලි නාළිකා කිහිපයකට ලබා දීල තියෙන්නෙ.



  • ප්‍රවීණ නවකයන් කලා ලොවේ සියලුම ගායකයන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි තමන්ගේ අලුත්ම නිර්මාණවලට මාධ්‍යයෙන් ඉඩ ලබා ගන්න එක.' සුභානිට ඒ ප්‍රශ්නය ඇති වුණේ නැද්ද?

සමහරු කියනවා එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒත් මටනම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මගේ නිර්මාණවලට නම් එදත් අදත් මාධ්‍යවලින් උපරිම සහායක් ලබාදී තිබෙනවා. මට ඒ සඳහා කිසිම මහන්සියක් දරන්න වෙලා නැහැ. 'ඉකිබිඳිනා නෙතු අගට' ගීතය කරලා ටික කාලයයි හිටියේ. ඒක මාධ්‍යයෙන් ප්‍රචාරණය වෙන්න ගත්තා.



  • තමන්ගේ ගීතයට විෂුවල් කරන එක දැන් රැල්ලක්. සුභානිත් ඒ රැල්ලේ කෙනෙක් වෙලාද?

මමත් විෂුවල් කරනවා. හැබැයි රසිකයන් අතරට යන්න නම් මේක කරන්නම ඕනියි කියලා මම කියන්නේ නැහැ. මම 'ලාභ සිනා' ගීතයෙන් ආවම කවුරුවත් මාව දන්නේ නැහැ. ඒ වුණාට මම කරපු මගේ ඊළඟ ගීතත් ඒ වාගේම ජනප්‍රිය වුණා. හැබැයි ගුවන්විදුලියට ඇහුම්කන් නොදෙන පිරිසකුත් සිටිනවා. ඉතින් ඒ අයට රූපවාහිනියෙන් අපේ ගීත අහන්න පුළුවන් වෙන්නේ මේ නිසයි. අන්න ඒ නිසා තමයි මම විෂුවල්වලට කැමැති.



  • කවුරුත් දැනන් හිටියේ සුභානි ගායිකාවක් කියලානේ. ඒ වුණාට දැන් සුභානි සංගීත ගුරුවරියක් නේද?

ඔව්. මම දැන් පදිංචිවෙලා ඉන්නේ මාලඹේ. මම ඉගෙන ගත්ත දැනුම අපතේ යවන්න අකැමැතියි. ඒ නිසා මම මගේ ගෙදරදී පොඩි ළමයින්ට සංගීත පන්තියක් ආරම්භ කළා.


  • රූපලාවණ්‍ය ශිල්පිනියටක් විදියටත් වැඩකරනවානේ?

ඒක නම් වුණේ අහම්බෙන්. පිට තැනකට යන්න බැරි නිසා මගේ ගෙදරම Salon එකක් පටන් ගත්තා. දැන් ඒකත් දිගටම කරගෙන යනවා.



  • සුභානි දැන් විවාහකයිනේ. ඔයාගේ පෞද්ගලික ජීවිතේ තොරතුරුත් කිව්වොත් නරකද?

මගේ විවාහය නම් සිදුවෙලා දැන් ටික කාලයක් වෙනවා. එයා මට මුණගැහුණේ මේ ක්‍ෂේත්‍රයෙන්මයි. හැබැයි එයා ජනප්‍රිය වෙන්න කැමැති නැහැ. දැනට එයා විදේශ රටක රැකියාවක් කරනවා.


ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



0 comments: