දළදාගමනය චිත්‍රපටය මම ප්‍රතික්ෂේප කරා - යෝෂිණී උමංගා.



  • Full name  : Yoshini Umanga Abeysekera
  • Nickname  : Yoshi, Yosh, Yo 
  • Eye colour : Brown
  • Hair colour: Dark brown
  • Height        : 5’9’
  • Waist          : 28
  • Bust            : 34
  • Education   : Studied at Ladies’ College, obtained an AMI Montessori Diploma at Cambridge College.


වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක ලෙස බොහෝ දෙනෙකු හඳුනාගත් යෝෂිණී උමංගා අබේසේකර වර්තමානය වනවිට සිනමා නිළියක ලෙස රසික ඔබ හමුවට පැමිණ සිටියි. සාර්ථක ලෙස ප්‍රදර්ශනය වෙමින් පවතින කේසෙරා ඇගේ කුලුඳුල් රංගනය ඇතුළත් චිත්‍රපටය වන අතර, යෝෂිණී එහි සැමැන්තා ලෙස චරිත නිරූපණය කරනු ලබයි. පළමු රංගනය හරහා රසික පිරිස් අතර ආදරණීය චරිතයක් වූ යෝෂිණී සිය රංගන කටයුතු පිළිබඳව අදහස් පැවසුවේ මේ ආකාරයෙනි.


Q යෝෂිණී සැමැන්තා වුණේ කොහොමද?

‍කේසෙරා චිත්‍රපටයේ තිර පිටපත ලිව්වේ මගේ ඥාතියෙකු වන පරාක්‍රම ජයසිංහ. පිටපත පෙන්නලා ඇහුවා මගෙන් මේක රඟපාන්න කැමතිද කියලා. පිටපත කියවනකොට මටත් ආස හිතුණා මේ චරිතයට. ඔය විදිහට තමයි මම කේසෙරා චිත්‍රපටයේ සැමැන්තා චරිතයට සම්බන්ධ වුණේ. චිත්‍රපටයේ මුල් භාගයේදී මගේ චරිතය විකාශය වෙන්නෙ නැහැ. චිත්‍රපටයේ දෙවැනි භාගය ආරම්භයත් සමග තමයි මගේ චරිතයේ ආරම්භය සිදුවන්නේ. නමුත් සැමැන්තා කියන්නේ කේසෙරා චිත්‍රපටයේ එන ප්‍රධාන චරිත අතරින් එකක්. 


Q‍ සැමැන්තා චරිතය විශේෂ එකක් නේද?

ඇත්තටම සැමැන්තා කියන්නේ මිය ගිය කෙනෙක්ගේ ආත්මයක්. තමන් ගැනම දුක්වෙලා තමයි ඇය මිය ගිහින් තියෙන්නේ. පවුලේ අයගෙන් ලැබෙන්න ඕන ආදරයත් ඇයට ලැබිලා නැහැ. ඇයගේ මරණයට එයත් එක්තරා විදිහක හේතුවක්. නමුත් චිත්‍රපටය නරඹන ඕනෑම කෙනෙකුට සැමැන්තා කියන චරිතේ යථාර්ථය වෙනස් විදිහකින් දකින්න පුළුවන්. මා චරිත නිරූපණය කරන සැමැන්තා චරිතය හරහා සමාජයටත් යම් පණිවුඩයක් දෙනවා.


Q පළමු රංගනය ගැන සතුටුද?

සැමැන්තා මගේ පළමු රංගනය නිසා අඩුපාඩු ඇති කියලා හිතනවා. නමුත් 100% සාධාරණය කළේ නැති වුණත් මට හැකි පරිදි උපරිම දායකත්වය මේ චරිතයට මම දීල තියෙනවා කියල කියන්න පුළුවන්. චිත්‍රපටය මා නරඹද්දි මම රංගනයෙන් දායක වුණ සමහරක් දර්ශනවලදී මීට වඩා යමක් මට කරන්න පුළුවන් වුණා නම් හොඳයි කියල හිතනවා. නමුත් කුළුඳුල් රංගනය නිසා මම සැමැන්තා චරිතයට හොඳ සාධාරණයක් කළා කියලා හිතනවා.


Q වෙළෙඳ දැන්වීම් බොහෝ ප්‍රමාණයක ඔබ අපි දකිනවා. නමුත් නිළියක් විදිහට ඔබ පළමුව අපි දකින්නේ ‍කේසෙරා හරහා?

වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් විදිහට මම ක්ෂේත්‍රයට එන්නෙ මට අවුරුදු 18ක් වෙනකොට. වෙළෙඳ දැන්වීම් කිහිපයක පෙනී ඉන්නකොට නිර්මාණ බොහෝමයකට රංගනයෙන් එකතු වෙන්න ආරාධනා ලැබුණා. ඔය කාලෙදී මගේ වැඩි අවධානයක් යොමුවෙලා තිබුණේ අධ්‍යාපනය පැත්තට. ගෙදර අයත් මාව උනන්දු කළේ ඒ පැත්තෙන් ඉස්සරහට යන්න. ඉඩ ලැබුණු අවස්ථාවලදී තමයි වෙළෙඳ දැන්වීම්වලටත් සම්බන්ධ වුණේ. 


Q පළමු රංගනයේදී ලැබු අත්දැකීම් කොහොමද?

වෙළෙඳ දැන්වීම්වල පෙනී හිටිය නිසා කැමරාවට නම් බයක් තිබුණෙ නැහැ. නමුත් දෙබස් කියනකොට තරමක චකිතයක් ඇති වුණා. ඒත් මට ගොඩක් රඟපාන්න තිබුණේ දිල්හානි අක්කිත් එක්ක. ඇය මා සමග නිතරම සාකච්ඡා කළා. මේ චරිතය මේ විදිහට කළොත් හොඳයි, මෙතැනදි මෙහෙම රංගනයක් කළොත් හොඳයි කියලා උපදෙස් දුන්නා. සමහරක් අවස්ථාවලදී ඇය තමයි දර්ශනයේ වැඩි කොටසක් අරගෙන කරලා මගේ බර සැහැල්ලු කළේ. චිත්‍රපටයේ මා සමග රංගනයෙන් දායක වුණ ප්‍රවීණ පිරිස මාව නවකයෙක් විදිහට පිළිගත්තෙ නැහැ. හොඳ මිතුරියක් විදිහට තමයි මාව ඇසුරු කළේ. එතැනදි මට තිබුණ පීඩනය ගොඩක් අඩු වුණා. 


Q ඒ කියන්නේ රඟපාන්න කැමැත්තක් තිබුණේ නැද්ද?

තිබුණා. අපේ පවුලේ කිහිපදෙනෙක්ම කලා කටයුතුවලට සම්බන්ධ වුණ අය. ඒ නිසා අපිට ක්ෂේත්‍රයට සම්බන්ධ අයත් එක්ක වැඩිපුර කාලය ගතකරන්න අවස්ථාව ලැබුණා. තාත්තා එක්ක මම රූගත කිරීම් බලන්න නිතර යනවා. ඒවා දැක්කහම රඟපාන්න ආසාවකුත් තිබුණා. නමුත් අධ්‍යාපනය පැත්තට යොමුවෙලා හිටිය නිසා ගෙදරින් බලපෑම් කළේ ඒවා හොඳට නිම කරන්න කියලා. දැන් මගේ අධ්‍යාපන කටයුතු සියල්ලම ඉවර නිසා ඉදිරියේදී හොඳ නිර්මාණවලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.


Q හොඳ නිර්මාණ කියලා ඔබ බලාපොරොත්තු වෙන්නේ?

සාමාන්‍ය චරිතවලට වඩා වෙනස්ම චරිතයක්. මම දැකපු විදිහට සැමැන්තා කියන්නේ ඒ වගේ චරිතයක්. කේසෙරා චිත්‍රපටය නරඹපු බොහෝ දෙනෙක් කිව්වේ මේ චරිතය නම් අපිට කාලයක් යනතුරු මතකයේ තියේවි කියලා. මම කැමතියි එවැනි චරිතවලට මගේ දායකත්වය ලබාදෙන්න. ඓතිහාසික චිත්‍රපට චරිතයක් කරන්නත් මගේ ලොකු කැමැත්තක් තියෙනවා. දළදාගමනය චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. ඒත් කේසෙරා චිත්‍රපටය රූගත කිරීම් යොදාගෙන තිබුණෙත් ඔය කාලෙදි නිසා ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න වුණා.


Q සිනමාවට විතරද ඔබගේ දායකත්වය ලැබෙන්නේ? 

මම දැනට ඕවර්සීස් ජාත්‍යන්තර පාසලේ පෙර පාසල් ගුරුවරියක ලෙස කටයුතු කරනවා. ඒ නිසා රඟපාන්න ලොකු විවේකයක් ලැබෙන්නේ නැහැ. චිත්‍රපටයකට කාලයක් වෙන් කරගන්න පුළුවන් වුණත් ටෙලි නාට්‍යයකට එකතුවෙන්න කාලයක් මට නැහැ. ඒ නිසා චිත්‍රපටවලට පමණක් දායක වෙන්න තමයි මගේ කැමැත්ත.


Q සැමැන්තා නිසා දැන් යෝෂිණී ජනප්‍රිය චරිතයක්ද?

එහෙම හිතනවා. නමුත් ජනප්‍රිය වෙන්න නම් මම කැමති නැහැ. ඒක කරදරයක්. සාමාන්‍ය ජීවිතේදී  මා මේ ගතකරන විදිහට සැහැල්ලුවෙන් විනෝදයෙන් ඉන්න තමයි කැමති. ජනප්‍රියත්වය කියන දේ ඔළුවට අරගෙන අමුතු ආඩම්බරයක් ඇතිකරගන්න උවමනාවක් මට නැහැ. අ‍නික තමයි ජනප්‍රියත්වය කියන දේ අද තිබිලා හෙට නැතිවෙලා යන්නත් පුළුවන්.







මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



0 comments: