අලුත් බබාගේ සනීපාරක්‍ෂාව.



පුංචි බබෙක් ඉපදුණු ගමන්ම හුඟක් අම්මලාට දරුවා පිළිබඳ ලොකු දැනුමක් නැහැ. ඒ නිසා සමහර වෙලාවට හුඟක් වැරැදි අනතුරුදායක දේවල් සිදුකරනවා. ඒ වගේම නොසැලකිලිමත් දේත් ඔවුන් අතින් සිදුවිය හැකියි.

  • මව්කිරි
දරුවා බිහිවුණු පසුව එන පළමු කාරණය තමයි මවුකිරි දීම. රෝහලේදී මවුකිරි දීම ගැන උගන්වනවා. නමුත් යම් මවකට මවුකිරි දීම පිළිබඳ ගැටලුවක් තිබෙනවා නම් ළදරු මිතුරු රෝහල් සංකල්පය ක්‍රියාත්මක වන රෝහල්වල තිබෙන මවුකිරි කළමනාකරණ මධ්‍යස්ථානවලින් උපදෙස් ගන්න පුළුවන්.

පෞද්ගලික රෝහල්වලදී දරුවන් බිහිකරන අම්මලාටත් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්න හැකියාව තිබෙනවා. නමුත් බොහෝ මවුවරුන් මේ ගැන දැනුම්වත් නැහැ. මවුකිරි සම්බන්ධ ගැටලුවක් තිබෙනවා නම් රජයේ රෝහලට ඇවිත් අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හැකියි.

  • අම්මාගේ පිරිසුදුකම
වැදගත්ම කරුණ වන්නේ පිරිසුදුකමයි. බබා වගේම අම්මත් පිරිසුදුව සිටිය යුතුයි. සමහර අම්මලා දරුවා ලැබිලා සතියක් විතර යනකල් නාන්නේ නැහැ. එවිට අම්මාගේ ඇඟේ දහදිය, කුණු නිසා ඇතිවන විසබීජ නිසා බබාට ආසාදන ඇතිවෙනවා. ඒ නිසා ඉකිලි, කිහිලි සෝදලා පියයුරු හොඳින් පිරිසුදු කර ගැනීම ඉතාම වැදගත්.

  • බබාගේ පිරිසුදුකම
ඒ වගේම බබාගේ කිහිලි, ඉකිලි හොඳින් සෝදන්න. බබා මුත්‍රා සහ මල පිට කළාම එම ප්‍රදේශය හොඳින් සේදිය යුතුයි. තෙත පුළුන් කැබැල්ලක් හෝ පිරිසුදු කපු රෙදි කැබැල්ලක් තෙමලා පිරිසුදු කරන්නට පුළුවන්.

  • නොකළ යුතුම දෙයක්
ඉපදුණු ගමන් ගැහැනු දරුවන්ගේ පියයුරු තරමක් වර්ධනය වෙලා තිබෙන්නේ. හුඟක් වෙලාවට ගල් කිරි ඉවත් කරනවා කියලා මේ කිරි මිරිකලා ඉවත් කරන්න අම්මලා උත්සාහ කරනවා. එය සුදුසු නැහැ. ඉන් පියයුරුවල තිබෙන සියුම් පටකවල තැළීම් ඇතිවෙලා තුවාල සහ සැරව ගෙඩි එනවා. පසු කාලයක සැත්කම් සිදුකිරීමට තරම් දුරදිග යන්නත් පුළුවන්. මෙය හෝර්මෝන වෙනසක් නිසා සිදුවන දෙයක්. එයට බිය විය යුතු නැහැ.

ඒ වගේම ඉපදුණු ගමන් ගැහැනු දරුවාගේ මුත්‍රා මාර්ගයෙන් ඔසප් වෙනවා සේ රුධිර පිටවුමක් විය හැකියි. එයත් ඉහත මෙන්ම හෝර්මෝන වෙනස් වීම නිසා සිදුවන්නක්. නමුත් ඒ පිළිබඳ ගැටලුවක් තිබෙනවා නම් වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් වෙනවා.

  • පෙකණිවැල
බබා ඉපදුණු ගමන්ම පෙකණිවැල ඉවත් කළත් එහි කොටසක් ඉතිරි වනවා. එය ඉවත් වීමට දින 10ක් පමණ ගතවිය හැකියි. නමුත් උථඡතඪජචත ට්පචදභතධථච නම් රෝග තත්ත්වයක් තිබෙනවා. එයට හේතුව පෙකණිවැල වැටුණු පසු තුවාලය සුව නොවීමයි. වතුර, සැරව හෝ රුධිරය පිටවීම සිදුවනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත්. නමුත් පෙකණිවැල වැටුණු විට යම් ගඳක් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්. එය සති දෙකක් පමණ අසාමාන්‍ය ලෙස දක්නට ලැබේ නම් වෛද්‍ය උපදෙස් ගන්න.

සමහර අවස්ථාවල පෙකණිවැල තිබූ තැන රෝස පැහැයට කොස්සක් (පුරුවක්) වගේ දකින්නත් ලැබෙනවා. එය වැවිලා උඩට වගේ එන්නත් පුළුවන්. එවැනි අවස්ථාවල වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය වනවා.

  • කැසීම් හා ආසාත්මිකතා
ඒ වගේම බබාලගේ ඇස්, ඇඟ, නාසය ආසන්නයෙන් ආපස්සට කඳුළු ගමන් කරන නාළයක් තිබෙනවා. එය අවහිර වීම නිසා කඳුළු ඇස අග එකතු වෙලා කබ වගේ හැදෙන්න පුළුවන්. නමුත් විසබීජ ආසාදන නිසාත් එසේම වෙන්න ඉඩ තිබෙනවා.

බබාගේ සිරුර හොඳින් සෝදලා පිහදාද්දි නැවෙන තැන් හොඳින් තෙත මාත්තු කරන්න. ඉකිලි, කිහිලි, යටිබඩ, දණහිස පිටුපස, අත්වැළමිට වගේ තැන් නැවිලා තිබෙන නිසා දහදිය රැඳිලා කැසීම් සහ ආසාදන ඇති වනවා.

කන් පිරිසුදු කරද්දී කොට්න් බට්න් දාන්න එපා. බබා එහෙට මෙහෙට හැරෙද්දි කනේ ඇනිලා කන් බෙරයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා පහන් තිරයක් වතුරෙන් පොඟවලා කන පිරිසුදු කරන්න.

  • පවුඩර් සහ ක්‍රීම්
බේබි කොලොන්, පවුඩර්, ක්‍රීම් වගේ දේවල් ගාන්න අම්මලා හරිම උනන්දුයි. නමුත් ඒ දේවල් අත්‍යවශ්‍යම නැහැ. සම වියළීමක් තිබෙනවා නම් පමණක් සුමුදු මොයිස්චරියිස් ක්‍රීම් එකක් ගාන්න. බබාගේ සිරුරේ නැවුම්වල ක්‍රීම්, පවුඩර් ඉතිරි වෙලා තිබෙනවා නම් ඒවා ඉවත් කරන්න. නැත්නම් දහදිය එකතු වෙලා දිලීර ආසාදන මතුවන්න පුළුවන්.
  • රතගාය
රතු පැහැති බිබිළි මතුවීම පුංචි බබාලට ඇතිවන තවත් ගැටලුවක්. සමහර බබාලගේ එය සිරුර පුරාම පැතිරිලා යනවා. නමුත් දින 10කින් පමණ සුව වන නිසා බියවෙන්න අවශ්‍ය නැහැ. රතගාය ලෙස හඳුන්වන මෙය රෝගයක් නොවේ.


හංසි ආටිගල.
 උපදෙස් : ළමා රෝග විශේෂඥ වෛද්‍ය මානෙල් ප්‍රනාන්දු.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



0 comments: