සෑම කාන්තාවකටම වැලඳෙන රෝගයක් - කැන්ඩිඩා.


කාන්තාවන්ට බහුලවම වැලඳෙන දිලීර ආසාදන අතර කැන්ඩිඩා රෝගයටත් වැඩි අවධානයක් යොමු වෙනවා. මෙය අප හඳුනා ගන්නේ උල්ලෝගම් ආසාදනය නමිනි. කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ටද ඇතිවිය හැකි නමුත් මෙහි වැඩි ප්‍රවණතාව පවතින්නේ කාන්තාවන්ටයි.

  • දිලීර ආසාදන
කාන්තාවන්ගේ යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන මෙම දිලීර ආසාදනයට වැඩි අවධානයක් යොමු කළ යුතුමයි. කාන්තාවකගේ ජීවිත කාලයේ කිනම් හෝ අවධියකදී බොහෝවිට ඇයට මෙම තත්ත්වයට මුහුණපෑමට සිදුවෙයි. යෝනි මාර්ගය ආශ්‍රිතව පමණක් නොව සම මත, දිව හා මුඛය ආශ්‍රිතව, උගුර, ගලනාලය ආශ්‍රිතව පවා මෙම දිලීර ආසාදනය ඇතිවිය හැකියි. නමුත් මේවා නිතරම දැකීමට අපහසුයි. මෙය බහුලවම ඇතිවන්නේ සම මත හා යෝනි මාර්ගය ආශ්‍රිතවයි.

  • ඇතිවීමට බලපාන හේතු
සම මත සිටින දිලීරයක් කැන්ඩිඩා ඇතිවීමට බලපෑම් කරයි. තම ශරීරයේ ප්‍රතිශක්තිකරණය හීන වීම හා දිගටම ප්‍රතිජීවක ඔෟෂධ ගැනීමෙන් බැක්ටීරියා විනාශ වී දිලීර වර්ධනය වීම වැනි හේතූන්ද කැන්ඩිඩා ඇතිවීමට බලපෑම් කරයි.

එච්.අයි.වී. ආසාදිත රෝගීන් හා දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශක්තිය අඩුවීම නිසාත් නිතරම ප්‍රතිජීවක ඔෟෂධ ගැනීමත් කැන්ඩිඩා ඇතිවීමට හේතු වෙයි. උපත් පාලන පෙති ගැනීමෙන් ශරීරයේ ඇතිවන හෝමෝන වෙනස්වීමත් මෙයට අදාළ හේතූන්ය. තෙතමනය සහිත යට ඇඳුම් භාවිතය හා නිතර දහදිය දැමීමෙන්ද දිලීර ආසාදන තත්ත්ව ඇතිවිය හැකියි.

ගර්භණී සමයේ සිටින කාන්තාවන්ගෙන්ද මෙවැනි ආසාදන තත්ත්ව දැකිය හැකි වන්නේ එම කාලයේදී හෝමෝනවල වෙනස්කම් ඇතිවන නිසයි.


  • රෝග ලක්‍ෂණ
කාන්තාවන්ට බහුලවම වැලඳෙන කැන්ඩිඩා යෝනි මාර්ගය ආශ්‍රිතව ඇති වුවහොත් එම ප්‍රදේශයේ කැසීමක් ඇතිවීම දැකගත හැකියි. මීට අමතරව

• සමේ රතු පැහැගැන්වීම

• බිබිලි ඇතිවීම
• කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් තද සුදු පැහැයට (මුදවපු කිරි පැහැති) ශ්‍රාවයක් පිටවීම
• මුත්‍රා කිරීමේදී දැවිල්ල ඇතිවීම වැනි ලක්‍ෂණද පෙන්නුම් කරයි. යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්ත්වයක් නිසා මෙය ලිංගික චර්යාවන්ට පවා බාධා ඇති කරන අවස්ථා පවතියි.

  • ප්‍රතිකාර
ඉහත සඳහන් කළ රෝග ලක්‍ෂණ ඔබට පවතියි නම් වහාම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරු හෝ ලිංගාශ්‍රිත රෝග සායන වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. මුඛය ආශ්‍රිතව රෝග මතු වුවහොත් නිසි දන්න වෛද්‍යවරයකු වෙත ගොස් හෝ ප්‍රතිකාර ලබා ගැනීමට හැකියි.
කැන්ඩිඩා දිලීර රෝගයක් නිසා මෙයට විවිධ ප්‍රතිකාර ක්‍රම පවතියි. මේ සඳහා ආලේපන ඔෟෂධ හෝ වෙනත් පෙතිද නිර්දේශ කළ හැකියි. සමේ ඇතිවන ආසාදනයක් නම් සුදුසු ආලේපනද වෛද්‍ය නිර්දේශයෙන් ලබාගත හැකියි.

  • වරින් වර ඇතිවීම
කාන්තාවන්ගෙන් 10%ත් 20%ත් අතර පිරිසකට ලිංගිකව සක්‍රිය වන කාලයේදී මෙම රෝගය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්වයි. රෝග ලක්‍ෂණ නැතිව වුවත් එය ශරීරය තුළ පැවතීමට හැකියි. කලින් සඳහන් කළ ආකාරයට ප්‍රතිකාර කළද නැවැත නැවැතත් කැන්ඩිඩා ඇතිවන අවස්ථා ඇත. මෙවැනි අවස්ථාවක ඔබ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතුයි. එවැනි අය තද යට ඇඳුම් ඇඳීමෙන්, නයිලෝන් ඇඳුම් භාවිතය හා සැර සබන් ආදිය භාවිතයෙන් අෑත්විය යුතුයි.


ශාලිකා රංගනී සමරදිවාකර
උපදෙස් : ලිංගාශ්‍රිත රෝග පිළිබඳ වෛද්‍ය සමින්ද්‍රා රණසිංහ


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

1 comments: