අලුත් බබා පරිසරයට හුරු කිරීම



දරුවන් හැමදාම ගේ ඇතුළට කොටුකරලා තියන්න බැහැ. එයාලා පරිසරයට සමාජයට හුරුකරවන්න වෙනවා.

පුංචිම කාලෙදි බබාව එළියට අරගෙන යෑම ඒ තරම් සුදුසු නැති වුණත් අවස්ථා කීපයකදී බබා එළියට අරගෙන යන්න වෙනවා. එනම් මාස 2, 4, 6 කියන කාලවලදී ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සිදු කරන්නේ සායනවලදීයි.

එවැනි අවස්ථාවලදී බබා වැඩි වේලාවක් රෝහලේ හෝ සායනයේ තියාගෙන ඉන්න එපා. රෝගීන් ගැවසෙන තැන්වල විසබීජ තිබෙන නිසා දරුවාට විසබීජ ආසාදන ඇති වෙන්න පුළුවන්.

ලංකාව තරමක් උණුසුම් දේශගුණයක් තිබෙන රටක් නිසා සෑම විටම තොප්පි, මේස් දාන්න අවශ්‍ය නැහැ. නමුත් ශීත දේශගුණයක් තිබෙන ප්‍රදේශයක් නම් අනිවාර්යයෙන් බබා උණුසුම්ව තියන්න.

මේ කියන ආරක්ෂක ක්‍රමවේද යොදමින් අපිට පුංචි බබාව සෙමින් පරිසරයට හුරු කරවන්න පුළුවන්. ඒත් පිරිසුදු කමත් ඉතාම වැදගත්. බබාව ටික ටික පරිසරයට හුරු කරන්න. මුලින්ම එයාව වඩාගෙන ගස්වැල්, මල්, සත්තු පෙන්වන්න පුළුවන්. එවිට බබා පරිසරයට සංවේදී වෙනවා.

පුංචිම කාලේ මාස 1 1/2ක් විතර යනකල් බබාට ඇස් පේනවා. නමුත් එයාට යමක් දැකලා තේරුම් ගන්න බැහැ. එයා හඳුනන්නේ අම්මා විතරයි. ඒ නිසා ඒ කාලෙදි බබා එළියට ගෙන යෑමේ තේරුමක් නැහැ.

නමුත් ඇවිදින, කෑම කන කාලය පරිසරය හුරු කිරීමට සුදුසුම කාලයයි. ඒ කාලෙදි එළියට එක්ක ගිහින් කෑම කවන්න පුළුවන්. සෙරෙප්පු දාන්නේ නැතිව බබාට ඇවිදින්නත් ඉඩ දෙන්න. බබාට ගල්, වැලි, තණකොළ පෑගෙන්නත් අවශ්‍යයි.

බබා ඇවිදින කාලෙට එයාට අතට හසුවෙන දේවල් කටේ දමා ගන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා ප්ලග් පොයින්ට්, විස වර්ග, මදුරු කොයිල් වගේ දේවල් දරුවන්ගෙන් ඉවත් කරන්න. බෙහෙත් වර්ගත් ඉවත් කරන්න. ඒ වගේම දරුවන් මදුරුවන්, කූඹින් වැනි සතුන්ගෙන් ආරක්ෂා කිරීමත් වැදගත්.

මේ කාලෙදිම බබාට සෙරෙප්පු පුරුදු කරන්නත් පුළුවන්. සෙරෙප්පු නිවැරැදිව දාගන්න, ගලවලා පැත්තකින් පිළිවෙළට තියන්න වගේ දේවලට දරුවා ඉබේම හුරුවෙනවා.



හංසි ආටිගල,
උපදෙස් : ළමාරෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



0 comments: