වීදුරු පෙට්ටියේ කතාව.


අලුත ඉපදුණ බබාලාගේ නිසි බර නැත්නම් වීදුරු පෙට්ටියේ දානවා කියලා හරිම ප්‍රසිද්ධ කතාවක් තිබෙනවා. නමුත් බොහෝ දෙනකුට මේ ගැන නිසි අවබෝධයක් නැහැ. ඒ නිසාම හුඟක් මවුවරු බබාලා වීදුරු පෙට්ටියේ දානවට බයයි.

ඉන්කියුබේටරය හෙවත් වීදුරු පෙට්ටිය කුඩා දරුවන් වෙනුවෙන් තැනූවක්. එය ඕනම ළමා වාට්ටුවක දැක ගන්න පුළුවන්. අඩු බර සහිත ළදරුවන්, නොමේරූ ළදරුවන්, කහ පැහැ වූ ළදරුවන් ඉන්කියුබේටරය තුළ තබනවා.

සති 32කට අඩුවෙන් ඉපදුණු දරුවන් ඉතා නොමේරූ දරුවන් ලෙස සලකනවා. ඒ වගේම සති 37ට අඩු දරුවන් ද නොමේරූ දරුවන්. නොමේරූ ළදරුවන්ට සිරුරේ උෂ්ණත්වය රඳවා ගන්න බැහැ. සාමාන්‍ය ළදරුවෙක්ට නම් ඇඳුම් අන්දවා තිබ්බාම පරිසර උෂ්ණත්වයට අනුව සිරුරේ උණුසුම සැකසෙනවා.

නමුත් නොමේරූ ළදරුවන්ට එවන් හැකියාවක් නැහැ. ඒ නිසා ළදරුවන්ගේ සිරුරේ උණුසුම රැකදීම සඳහා සහ සිරුරට අවශ්‍ය උණුසුම කෘත්‍රිමව ලබා දෙනවා.

සමහර ළදරුවන්ට රුධිරයේ අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් රඳවා ගැනීමට හැකියාවක් නැහැ. එවිට වැඩිපුර ඔක්සිජන් ඉන්කියුබේටරය මඟින් ලබා දෙනවා. ඒ වගේම විවිධ හේතු මත ළදරුවන් කහ පැහැ ගැන්වෙනවා. මවගේ සහ දරුවාගේ රුධිරය සමාන නොවීම, ආරය නිසා ඇතිවන ගැටලු, උපතින් එන රුධිරගත ආබාධ නිසා රුධිර සෛල විනාශ වී ඇති ළදරුවන් කහ පැහැ විය හැකියි. එවැනි දරුවන්ට ඉන්කියුබේටරය තුළින් නිල් පැහැ ආලෝකයක් ලබා දෙනවා. එමඟින් ශරීරයේ ඇතිවුණු කහ පැහැය යථා තත්ත්වයට පත්වෙනවා. ඉන්කියුබේටරයක් තූළ දරුවන් තැබිය යුතු කාලය සීමාවක් නැහැ. දරුවා එහි තැබීමට හේතු වූ ගැටලුව යථා තත්ත්වයට පත්වන තුරු දරුවා ඉන්කියුබේටරයේ තබන්න වෙනවා.

සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් සිතනවා දරුවා ඉන්කියුබේටරය තුළ තැබූ විට සාමාන්‍ය පරිසරයට අධික ලෙස සංවේදී වනවා කියලා. නමුත් එහි කිසිම සත්‍යතාවක් නැහැ.

මේ කාලෙදී ගැටලුවක් ඇතිවන්නේ කිරි දීම සම්බන්ධව පමණයි. එවිට නාසය මඟින් ආමාශයට යවන බටයක් හරහා දරුවාට කිරි ලබාදෙනවා.



හංසි ආටිගල,

වෛද්‍ය පුණ්‍යානි බන්දුතිලක.


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

0 comments: