ඔබේ නිය ලස්සනට තියාගන්නේ මෙහෙමයි





රූපලාවණ්‍යයේ දී සම ගැන හිසකෙස් ගැන විතරක් නෙමෙයි. නියපොතු ගැනත් වැඩි අවධානයක් යොමු කළ යුතුමයි. හේතුව නිය කියන්නේ ද අපේ සමේම ඇතිවන කොටසක් නිසයි. නිය ගැන සඳහන් කළොත් නිය තිබෙන්නේ ආරක්ෂා වීමට සහ හැඩයක් ලබා දීමටයි. එමෙන්ම සෞඛ්‍යමය වශයෙන් ගතහොත් අපේ අභ්‍යයන්තරික ලෙඩ රෝග බොහෝමයක් අපේ නිය පරීක්ෂාකර බලා තීරණය කළ හැකියි. එමෙන්ම නියපොතු කෙනකුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිසුදුභාවය තීරණය කළ හැකි හොඳම සාධකයක් ලෙස ද සඳහන් කරන්න පුළුවන්.

  • නිය දෙස බලා කිවහැකි ලෙඩ රෝග මොනවාද?


විජලනය, සමහර හෘද රෝග, අක්මා රෝග, වකුගඩු රෝග, රක්ත හීනතාවය, චර්ම රෝග පිළිබඳ දළ අදහසක් අපට යම් පුද්ගලයකුගේ නියපොතු නිරීක්ෂණය කිරිමෙන් දත හැකියි. අද බොහෝ වෙලාවට ගෘහණියන්, දරුවන් සිටින මවුවරුන් තමන්ගේ රාජකාරී බහුල වීමත් සමඟ නියපොතු ගැන එතරම් අවධානයක් යොමු කරන්නේ නෑ. විශේෂයෙන්ම මෙවන් ගෘහණියන් තමන්ගේ පවුල තුළ පණු රෝග වැනි රෝගයක් පැතිරවීමට වාහකයකු වෙයි.

එමනිසා අනිවාර්යයෙන්ම ගෙදර දොර වැඩ කරන ගෘහණිය, වෛද්‍ය වෘත්තියට සම්බන්ධ සහ සෞඛ්‍ය වෘත්තියේ සිටින පුද්ගලයන් රූපලාවණ්‍ය වෘත්තියේ සිටින සහ සම්බාහනකරුවන් හෝ ආහාර සකසන පුද්ගලයින් විශේෂයෙන්ම තම නියපොතු හොඳින් කපා සිටිය යුතුයි.



  • නිය ආශ්‍රීතව ඇතිවිය හැකි ලෙඩ රෝග මොනවද?


නිය, පොතු ලෙස ගැලවී යාම, නිය කැඩීයාම, නියමල පෑසවීම, නිය දුර්වර්ණ වීම, ලප, ඉරි ස්වභාවයන් ඇතිවීම, පාද පැලීම ආදී තත්ත්වයන් ඇති විය හැකියි.
  • එයට හේතුන් මොනවද?


නිය ආශි‍්‍රත ගල්වන ආලේපන, මෙහිදී සුදුසු නොවන ආලේපන ගල්වා තිබීම, නිතර නිතර ආලේපන ගැල්වීම, නියමිත කාලයේ දී ආලේපන ඉවත් නොකිරීම, අපවිත්‍රතාවය තුවාල සහ වෙනත් චර්ම රෝග, විශේෂයෙන්ම නොසැලකිලිමත්කම දැක්විය හැකියි.



  • මේ දේවල් වළක්වා ගන්නේ කොහොමද?

පළමුවැනි දේ නම් නිතරම අපේ දෑත් දෙපා පිරිසුදුකර තෙත රහිතව තබා ගැනීම. එමෙන්ම නිය පොතු සෑපීමෙන් වැළකිය යුතු අතර නිය කැපීමේ දී වුවත් ඉතාම ප්‍රවේශමෙන් නියමලට හානි නොවන සේ කිරීමට වගබලා ගත යුතුයි. නියමල පැසවා ඇත්නම් වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ගැනීම කළ යුතුයි.

සෑම දිනකම පිරිසුදු කාරක යොදා අත්වල හා පාදවල නියපොතු සේදීම කළ යුතුයි. නිය පොතු දෙපස හෑරිම ද නොකළ යුතු ක්‍රියාවක්. තැවරූ ආලේපන දිගු කාලයක් තබා ගැනීමෙන් වැළකීමත් ආලේපන ඉවත් කරනවා නම් ඇසිටෝන් රහිත සැර අඩු රසායනික සංයෝගයකින් ඉවත් කිරීමත් ඉතා වැදගත්ය. සතියකට දෙවරක් පමණ ෆ‍්‍රට් සෝල්ට් එකක් හෝ එසේත් නැත්නම් සහිඳලුණු, ජෙලටින් මේස හැඳි දෙකක් මඳ උණුසුම් වතුරට දමා දෑත් දෙපා එහි දමාගෙන සිටීමෙන් ද ප්‍රතිකාරයක් ලබාදිය යුතුයි. ඊට අමතරව සහිඳ ලුණු, රසකිඳ හා ගොරකා තැම්බූ වතුරේ දෙඅත් හා දෙපා ඔබාගෙන සිටීමෙන් සැහැල්ලු බවත් දැනේ. දෙපාවල ඇතිවන වේදනාව සහ හිරි ගතියට මෙය කදිම විසඳුමක් ගෙන දෙයි. වාත රක්තය, විළුඹේ වේදනාව, කකුල් පැලීම ආදී රෝගාබාධ තිබේ නම් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි.

අභ්‍යන්තර ඖෂධ, තෛල සම්බාහන ක්‍රම, පාෂාණ යොදා ගනිමින් කරනු ලබන සුවිශේෂී සම්බාහන ක්‍රම හෝ චූර්ණ යොදා ගනිමින් කෙරෙන සම්බාහනයන් ද මෙහිදී සිදු කෙරෙනු ඇත.


මංජුලා  මල්කාන්ති
උපදෙස් - සුලෝචනා මිහිරාණී සේනාරත්න
චාම්වේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න...


0 comments: