ගස් වටේ නැටුවත් ඒක හරියට කරන්න ඕනෑ - දිල්හානි.


සිනමා තිරයේදී විටෙක ඇය සමනලියක සේ වන්නීය. බාහිර පෙනුමින්ද මැන බලා ඇය වඩා ළඳ බොළඳ චරිතයකැයි සමහරු විශ්වාස කළ හැකිය. නමුත් දිල්හානි අශෝකමාලා වන ඇය එලෙසින්ම නොවන්නීය. ඒ වග, ඒ ගැන දිල්හානි මේ කතා බහ වෙතින් ඔබට පසක් කරදේවි. 


  • දිල්හානි කොහොමද ජීවිතේ?

මං හරි සරලවනෙ ජීවිතය ගැන හිතන්නෙ. ඉතින් ජීවිතය බොහොම සරලව ගෙවෙනවා.


  • ඒ සරල බව ගැන පැහැදිලි කළොත්?

විශාල අරමුණු මගේ හිතේ නැහැ. ඇසුරට සුදුසු අය ඇසුරු කරනවා. සොබා දහම එක්ක, ඒ වගේම ඇත්ත එක්ක හරි කිට්ටුයි. අන්න ඒක තමයි සරලකම මගේ.


  • ගෙවී ගිය ජීවිතයේ තිබුණු අරමුණු මොනවද?

කවදත් මට විශාල අරමුණු තිබුණෙ නැහැ. අද දවසේ සහ ලැබුණු දේ සතුටින් බාරගෙන වැඩ කළා. චිත‍්‍රපට රඟපෑමට බලෙන් චරිත ලබාගෙනත් නැහැ. කිසිදෙයක් එහෙම හඹාගෙන ගිහින් කළෙත් නැහැ. 


  • කලාකරුවො පක්ෂ පාට හරහා පිල්බෙදිලා. ඔබ එය දකින්නෙ කොහොමද?

ඒක ප‍්‍රතිපත්තිමය බෙදීමක්. නමුත් අවසානයේදී ඔය ඔක්කෝමලා එකට එකතු වෙනවා. වෘත්තියේදී ඔය දේශපාලන මති මතාන්තර මොනවත් බලපාන්නෙ නැහැ. 


  • එක එක්කෙනා තරහින්, වෛරයෙන් බලන්නෙ නැද්ද?

එහෙම අත්දැකීම් නැතුවාම නෙවෙයි.  ඕනෑම කෙනෙකුගේ නිදහස් අදහස් වලට ගරු කරන්න  ඕනෑ. නිදහස් චින්තනයට විශේෂයෙන්ම ගරු කළ යුතුයි.
  

  • පවතින රජයට පක්ෂ කලාකරුවන්ට එක විදියකට සහ විරුද්ධ පක්ෂවලට ලැදි කලාකරුවන්ට නිතරම තහංචි පැනවෙන්නෙ ඇයි?

ඔහොම වෙන්නෙ තනතුරු බදාගන්න ගියාමයි. ස්වාධීනව ඉඳලා  ඕනෑම මතයක් දැරුවාට කමක් නැහැ. අද වෙලා තියෙන්නෙ ස්වාධීන වෙන්න බැරි තත්ත්වයට පත්වීමයි. රජයකට යටත් වුණොත් කලාකරුවො කියන කෙනාගෙ ගෞරවය නැතිව යනවා. එහෙම වුණාම කලාකරුවා මහජන නියෝජිතයකු වෙන්නෙ නැහැ. 


  • අපේ රටේ කලාකරුවන්ගෙ හඬ ප‍්‍රබලයි කියලා ඔබ හිතනවද?

යම්කිසි ප‍්‍රමාණයකට විශ්වාසය පළුදුවෙලා. නමුත් අද වන විට ඒ අතරේ උඩුගං බලා යන පිරිසකුත් සිටිනවා. කිසිම වාසියක්, තනතුරක් නැතුව තමන්ගෙ ජීවිතය පවා අනතුරේ දාගෙන ක‍්‍රියාකරන පිරිසක් සිටිනවා. සමාජයට සහ සමාජය වැඩිපුර දැනෙන්නෙ ඒ අයටයි.


  • ඇයි කලාකරුවො තමුන්ගෙ වැඩක් නොකර මේ දේශපාලනය බදාගන්නෙ?

ඇත්තටම කලාකරුවන් වෙතින් විය යුත්තේ දේශපාලනය නොකර දේශයේ ආරක්ෂාව බදා ගැනීමයි. එතකොට එයාලා ඉන්නෙ ජනතාවගෙ පැත්තෙයි. රටක වැරදි දකින්න පුළුවන් නම්? ඒ ක‍්‍රමය වෙනස් කළ යුතු නම්? අපි ඉන්නෙ එතකොට ජනතාව එක්කයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන්න  ඕනෑ බුද්ධිමත් අයයි, නමුත් කළුකඩ මුදලාලිලා උඩ ඇවිත්. 


  • මේ වගේ මතදරාගෙන පෙනී සිටීම් නිසා ඔබට අසාධාරණයක් වේවි කියලා හිතුවෙ නැද්ද?

ජීවිතේ දැන් මට බයක් නැහැ. හතළිහ පැනලනෙ. ජීවිතයෙ මේ සියල්ල ලැබුවෙ ජනතාව නිසයි. ඒ නිසා මගේ යුතුකම වන්නේ ඒ ජනතාවට ස්තුතියි කියනවාට වඩා, ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් පෙනී සිටීමයි. මගේ ඇත්ත එක්ක ජීවිතය ගත කිරීම මිසක්, මරණය ගැන මට බියක් නැහැ.


  • ගෘහණියක, බිරිඳක, මවක ලෙස ඔබගෙ ගෙදර භූමිකාව මොන වගේද?

ඒ මාතෘකා එක්ක සමහර දේ මගෙන් අතපසු වෙන්නත් ඇති. නමුත් ඔය කියන සම්මතයේම ඉන්නත් මම අකමැතියි. බිරිඳ කියලා ගෘහස්ථ සිරගත වීමක් වැඩක් නැහැ. දරුවකු හැදුවා, එයාට මාවත කියලා දුන්නා. ඉතින් මේ පොළවට ණය නැති අම්මා කෙනෙක් ලෙස මැරිලා යාවි. 


  • ඔබ මොන විදියට කතා කළත්, දිල්හානි කියූ විගස සමහරු මනින්නෙ ඔබ වාණිජමය සිනමාවේ, සමනළ චරිතයක් ලෙසයි. ඒ මිම්මට ඔබ එකඟද?

මං හරි හොඳට හිනාවෙලා, විහිළුවක් කරගෙන තමයි නිතරම ඉන්නෙ. ඉතින් සමහරු හිතනවා ඇත්තෙ මං හරි බොළඳයි, කිසිදෙයක් දන්නෙ නැති ඔහේ ඉන්න කෙනෙක් කියලා හිතනවා ඇති. සමහර විට මගේ යාළුවෝ පවා හිතන්නෙ එහෙම වෙන්න ඇති. ඒත් මම හිතන විදිය වෙනස්.


  • දිල්හානි කියන චරිතය අපේ රටේ සම්භාව්‍ය කියලා පිළිගත් ලේබලයේ සිිටිනවද?

මගේ හිතේ ඉන්නවා නේද? නැත්නම් හොඳම නිළිය කියන සම්මානය පස්වතාවකදී ලැබෙන්නෙත් නැහැනෙ. ඒ නිසා පොඩි ප‍්‍රමාණයක හරි සම්භාව්‍යය තැනැක් ඇති. ගස් වටේ ගිහින් නැටුවත්, විකට චරිත කළත්, ඔය මොන විදියට වේවා, ඒවා හරියට කළා නම් එච්චරයි.


සඳුන් ගමගේ.
Lankadeepa


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

0 comments: