රැඟුම් පාලක මණ්ඩලය ඉල්ලන කැපුම් නිසා ගොඩනගපු නිර්මාණය විනාශ වෙනවා


බොර දිය පොකුණ සිනමා පටයේ වාරණය පසුගිය දා ඉවත් කෙරිණි. එය වාරණ මණ්ඩල කිහිපයක ම කතුරට හසුව ඉතා අසීරුවෙන් සිය පණ නල රැක ගත් නිර්මාණයකි. ඒ ගැන අප හා සංවාදයට එක් වන්නේ එම චිත‍්‍රපටයේ සංස්කරණ ශිල්පී රවින්ද්‍ර ගුරුගේ ය.



කාලයකට පෙර ඔබ සංස්කරණය කළ ‘බොරදිය පොකුණ’ අද දවසේ බලන කොට ඔබට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ?

මං බොරදිය පොකුණ සංස්කරණය කළේ අවුරුදු දොළහකට විතර කලින්. ගිය සිකුරාදා එහි මංගල දර්ශනය බලන කොට මට හිතුණේ ඒතරම් කාලයක් ගියත් චිත‍්‍රපටියේ නැවුම් ගතිය ඒ විදිහට ම තියනවා කියල. සමහර චිත‍්‍රපටි කාලයත් එක්ක පරණ වෙනවා. නමුත් මේ චිත‍්‍රපටියේ නැවුම් ගතිය එදා වගේම අදත් ඒ විදිහටම තියනවා.

එදා සංස්කරණය ගැන?

සංස්කරණ ශිල්පීන් විදිහට අපිත් දවසින් දවස අලුත් වෙමින් යන්නේ. ඒ නිසා මේ විදිහට කාලයකට පස්සේ බලන කොට හැම ශිල්පියෙකුටම වගේ මුලින් කළ දේ යම් යම් අඩුපාඩු අහුවෙනවා. මං චිත‍්‍රපටිය බලන්න ගියෙත් මගේ අතින් ගොඩක් අඩුපාඩු වෙලා ඇති කියලා හිතාගෙන. නමුත් එහෙම දෙයක් දකින්න තිබුණේ නෑ. චිත‍්‍රපටියට අවශ්‍ය රිද්මය ගොඩනගා ගන්න මට පුලූවන් වෙලා තියනවා.
අධ්‍යක්ෂවරයා කතාවට ප‍්‍රවේශ වීම, රූපගත කිරීම ආදී සියලූම දේවල් හොඳින් සිදුකර තිබුණු නිසා මගේ අතිනුත් සංස්කරණයේදී වෙන්න ඕනේ දායකත්වය සෑහෙන දුරට ලැබිලා තියනවා කියලා මට හිතුණා. පේ‍්‍රක්ෂකයන්ගේ හැගීම් උද්දීපනයට ඕනෑම චිත‍්‍රපටියක සංස්කරණය දායක වෙනවා. ඒ සඳහා මගෙන් ලැබිය යුතු දායකත්වය ලැබිලා තියනවා කියලා මං සතුටු වෙනවා.

ඔබ කලින් සංස්කරණය කළ චිත‍්‍රපටියක් පසු අවස්ථාවක බලන කොට එහි දුර්වලතා දැක්ක අවස්ථා තිබෙනවාද?

සාමාන්‍යයෙන් මා සංස්කරණය කළ චිත‍්‍රපටියක් අවුරුදු ගාණකට පස්සේ බලන කොට ‘අයියෝ මේක මෙහෙම වෙන්න තිබුණ නේද? අතන මෙහෙම වෙන්න තිබුණා නේද? මේ රූපය තව චූටි කාලයක් තියා ගත්තා නම් හොඳයි නේද?’ කියලා මටම හිතෙන අවස්ථා අනන්තවත් ඇතිවෙලා තියනවා. එහෙම වෙන්නේ අපි සංස්කරණ ශිල්පීන් විදිහට හැමදාමත් අලූත් වෙන නිසා. මෙතනදි එහෙම නොවුණ එක විශේෂ දෙයක් විදිහට මං දකිනවා.

රැඟුම් පාලක මණ්ඩලයේ නියමය නිසා කරන්න වුණු සංස්කරණය මොන වගේද?

2002 මේ චිත‍්‍රපටිය අවසන් කරන කොට ධාවන කාලය පැය දෙකකුත් විනාඩි 32ක් වගේ කාලයක් වුණා. නමුත් දැන් ප‍්‍රදර්ශනය වෙන චිත‍්‍රපටියේ ඒ කාලය පැය දෙකයි විනාඩි 12කට කෙටි කරන්නට අපිට සිදුවුණා. ඇත්තටම ඒක සංස්කරණයක් නෙවෙයි. සංස්කරණ ශිල්පියෙකුගේ කාර්යභාරයෙන් පිටස්තර කටයුත්තක්. රැඟුම් පාලක මණ්ඩලයේ අවශ්‍යතාවටයි එය සිදුවුණේ. ඊට පස්සේ අලූතෙන් චිත‍්‍රපටිය ගත්ත නිෂ්පාදකවරයා කිව්වා ධාවන කාලය පැය දෙකකට වැඩි කරන්න එපා. එහෙම වුණාම පේ‍්‍රක්ෂකයන්ට ගෙනියන්න අමාරුයි කියලා. ඒ වගේ සීමාවන් යටතේ තමයි දැන් ප‍්‍රදර්ශනය වෙන චිත‍්‍රපටිය අවසන් කරන්න වුණේ.

ඒක සංස්කරණයක් නෙවෙයි කියන්නේ ඇයි?

මං ඒකට සංස්කරණය කියලා කියන්නේ නෑ. පරණ රූප, දර්ශන සොයා ගෙන ඒවා ක‍්‍රමානුකූලව ගොඩනගමින් කරන දෙයකටයි සංස්කරණය කියලා කියන්නේ. මේකේ එහෙම කරන්න ලැබුණේ නෑ. මොකද අවුරුදු දොළහකට පෙර රූපගත කළ චිත‍්‍රපටියක් නිසා ඒ දර්ශන එකක්වත් සොයාගන්න පුලුවන්කමක් තිබුණේ නෑ. මේක රූපගත කරලා තිබුණෙත් මිලිමීටර් 35 පටල පටියෙන්. දැන් ඒක නැතිවෙලාම ගිහිල්ලා. ඒ නිසා අවසාන පිටපත හදාගන්න අපිට දුෂ්කර ක‍්‍රියාවක් කරන්න වුණා. ඒ නිසාම කැපුම්වල යම් කිසි ගැටලූ තැන් තිබුණත් මට හිතෙන්නේ පේ‍්‍රක්ෂකයාට ඒක එච්චර ලොකු බාධාවක් විදිහට දැනෙන එකක් නෑ. ඇත්තෙන්ම ඒක සංස්කරණයේ ප‍්‍රශ්නයකටත් වඩා අවසානයේ කොට කරන්න සිදුවීමෙන් ඇතිවුණු ප‍්‍රශ්නයක්.

ඔබ සංස්කරණය කළ කීවෙනි චිත‍්‍රපටියද මේ?

ලංකාවේ ඩිජිටල් තාක්ෂණය යොදාගෙන සංස්කරණය කළ තුන්වෙනි චිත‍්‍රපටිය මේක. ඊට කලින් කෙරුණු චිත‍්‍රපටි දෙක වුණේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අග්නි දාහය’ සහ ඉනෝකා සත්‍යාංගනීගේ ‘සුළං කිරිල්ලී’. නමුත් මේකට අඩුපාඩුවක් වුණේ නෑ. තාක්ෂණික මට්ටමින් උපරිම තැන තියාගත්තා. නමුත් අද තාක්ෂණය ඊටත් වඩා දියුණුයි. මීට වැඩිය ගුණාත්මක දේවල් එක් කිරීමේ හැකියාව තියනවා. එසේ වුණත් මේ චිත‍්‍රපටියේ සිනමාත්මක ප‍්‍රකාශනයට ඒ කාරණය බලපාලා නෑ කියලයි මට හිතෙන්නේ.

අද වන විට ඔබ චිත‍්‍රපටිය කීයක් සංස්කරණය කරලා තියනවාද?

මේ වෙනකොට මං චිත‍්‍රපටි 83ක් විතර සංස්කරණය කරලා තියනවා. බොර දිය පොකුණ කරන කාලේ වගේ නෙවෙයි අද නැවත නැවත රූගත කිරීම් කරන්න පුලූවන්. ඇත්තෙන්ම අද චිත‍්‍රපටියක සියලූම දේවල් ලංකාව තුළ කරන්න පුලූවන්. අපේ සිනමා ශාලාවල තවමත් ඩිජිටල් පෙන්නන්න බැරි හින්දා තමයි දැන් අපිට ඉන්දියාවට යන්න වෙන්නේ ප‍්‍රින්ට් එකට. ඒ හැර අනෙක් සියලූම දේවල් ලංකාවේ කළ හැකියි. නමුත් බොරදිය පොකුණ කරන කාලේ මෙහෙ කරන්න පුලූවන්කම තිබුණේ ශබ්ද ටික හදන එකත් එක්ක 10%ක විතර ප‍්‍රමාණයක් විතරයි.

සංස්කරණයේදී මතුවුණු තාක්ෂණික ගැටලූ බැහැර කළ විට රැු`ගුම් පාලක මණ්ඩලය ඉල්ලන කැපුම් කරන්න යන විට සංස්කරණ ශිල්පියෙක් මුහුණ දෙන තත්ත්වය මොකක්ද?

ඒක ඛේදවාචකයක්. චිත‍්‍රපටියක් අවසන් කරන්නේ තවත් කෙනෙකුට බලලා කැපුම් කරන්න ඉතුරු කරලා නෙවෙයිනේ. අධ්‍යක්ෂවරයත් එක්ක සාකච්ඡුා කරලා චරිත ගොඩනැගෙන විදිහ, ඒ තුළ ප‍්‍රකාශ වන හැගීම් මතු කිරීම වැනි කාරණා සඳහා සංස්කරණ ශිල්පියා ඒ රූපත් එක්ක ගණුදෙනුවක් කරනවා. ඒ හරහා තමයි චිත‍්‍රපටියක් අවසන් කෙරෙන්නේ. ඊට පස්සේ ඒක සෙන්සර් කරන්න කිව්වාම ඒක වෙනත් කටයුත්තක්. එතනදි අපි ගොඩනගපු නිර්මාණය සෑහෙන දුරට විනාශ වෙන තත්ත්වයක් තියනවා. කියන තරම් ලේසි නෑ මිලි මීටර් 35 රූපගත කරලා හඬ යොදලා සංස්කරණය අවසන් කළ චිත‍්‍රපටියක් නැවත අද ඒ විදිහට කැපීම. ඒක තාක්ෂණික වශයෙන් හරිම අමාරු වැඩක්.

රැඟුම් පාලක මණ්ඩලය මගින් චිත‍්‍රපටිවල කැපුම් ඉල්ලීම ඔබ කොහොමද දකින්නේ?

මං කිසිසේත් එකඟවෙන්නේ නෑ මේ සෙන්සර් කිරිල්ලට. ලෝකයේ දැන් එහෙම එකක් නෑ. වයස් සීමා අනුව වර්ග කර ප‍්‍රදර්ශනයට අනුමත කිරීමකුයි ලෝකයේ සිදුවෙන්නේ. මේක සෙන්සර් බෝර්ඞ් දෙකක පරීක්ෂාවට ලක්වුණා. පළවෙනි එක කිව්වා සමහර දෙබස් තියන හඬ පට අයින් කරන්න කියලා. ලිංගික දර්ශන ඉවත් කරන්න කියලා. අපි ඒකට එකඟ වුණේ නෑ. ඒකට විරුද්ධව අපි අභියාචනා ඉදිරිපත් කළා. ඊට පස්සේ දෙවෙනි එකේදි ආව සභාපතිවරයා ඊට වඩා සාධාරණ මතයක හිටියා. ඔහු කිව්වා තැන් දෙකක් සෙන්සර් කරන්න කියලා. එක් දර්ශනයක ලිංගික ප‍්‍රකාශනය ඉතාම තීව්ර විදිහට එනවා. ඒක තව අඩුකරන්න කිව්වා. චිත‍්‍රපටිය පෙන්වන්නම ඕනේ නිසා එයට හානි නොවන ආකාරයට මං ඒක සෙන්සර් කළා. ඊට පස්සේ හඬ පටයේ තියන ඇතැම් දෙබස් කුණුහරුප කියලා ඒවා අයින් කරන්න කිව්වා. මුලින් කිව්වේ ඒ දර්ශන පිටින්ම අයින් කරන්න කියලා. නමුත් පසුව දර්ශනය තියෙන්න ඇරලා දෙබස් නිහඬ කරන්න කිව්වා. එයත් කරන්න සිදුවුණා.
වැඬේ තියෙන්නේ ඉංග‍්‍රීසියෙන් ෆක් කියලා කිව්වා නම් එක වාරණය වෙන්නේ නෑ. ඉංග‍්‍රීසි චිත‍්‍රපටිවලට ඒවා කුණුහරුප වෙන්නේ නෑ. මොකද ඒවා සාමාන්‍ය ජීවිතයේදී මිනිස්සු කතා කරන වචන. නමුත් මේක සිංහලෙන් කියන කොට කුණුහරුපයක් බවට පත්වෙනවා. ඒ නිසා ඒ වචන කියවෙන තැන්වලදී හඬ පමණක් හෝ ඉවත් කරන්න අපිට සිදුවුණා.

විකල්ප ක‍්‍රමයක් භාවිත කරන්න හැකියාවක් තිබුණෙම නැත්ද?

අවශ්‍ය නම් මට තිබුණා කැළැවේ ශබ්ද ඉස්මතු කරලා අර කුණුහරුප කියන දෙබස් යටපත් කරලා දාන්නත්. එහෙම කළා නම් ඒක අපේ වරදක් වෙනවා. ඒ නිසා මං කළේ ඒ දෙබස් තියන තැන්වල හඬ ඉවත් කිරීම. හැබැයි මේකෙන් පස්සේ දෙබස් කියනවාට වැඩිය ඒ තැන පේ‍්‍රක්ෂකයාට මතුවෙලා පෙනෙන්න ගත්තා. දැන් ඒ විදිහට තමයි චිත‍්‍රපටිය ප‍්‍රදර්ශනය වෙන්නේ.

රූප රාමුවලදි?

මේකේ තියන ලිංගික අවස්ථාව රළු වැඩියි. ඒක ඊට වඩා සෞන්දර්යාත්මකව සහ හැගීම් උද්දීපනය වෙන විදිහට මුලදි තිබුණා. සෙන්සර් බෝර්ඞ් එක කිව්වා ඒ දර්ශනයේ කාලය විනාඩියකින් හෝ දෙකකින් අඩුකරන්න කියලා. එයින් පසුව තමයි රළු ගතිය මතුවුණේ. නමුත් මුල් අවස්ථාවේදී ඒක ඊට වඩා හොදින් තිබුණා. එහි රංගනය වගේම රූපගත කිරීමත් ඉතාම හොඳින් සිදුවෙලා තිබුණා. මං හිතන්නේ අපේ සිනමාවේ මේක හැරුණු කොට එහෙම දර්ශනයක් තිබිලා නෑ. ඒ තරමින් බය නැතිව ඉදිරිපත් වුණු නලු නිළියෝ හිටියේ නෑ. ඒ ආකාරයෙන් රූපගත කරලා තිබුණේ නෑ. ඒකම තමයි මං හිතන්නේ බෝර්ඞ් එකට ප‍්‍රශ්නය වුණෙත්.

වාරණය ඉවත් කර ගැනීමට දර්ශන කීයක් සම්පූර්ණයෙන් අයින් කරන්න වුණාද?

කපන්න කියලා කිව්වේ දර්ශන දෙකයි. කැළේ දර්ශනය සහ ගේ ඇතුළේ දර්ශනය. පළවෙනි වතාවේ බෝර්ඞ් එක කිව්වේ ඔය දර්ශන පූර්ණ වශයෙන් ඉවත් කරන්න කියලා. දෙවෙනි වතාවේ තමයි යම් කිසි සීමාවන් ඇතුළේ ඒ දර්ශන තිබෙන්නට හරින්න ඔවුන් ඉදිරිපත් වුණේ. කැළේ දර්ශනයෙත් සෑහෙන ප‍්‍රමාණයක් අඩු කළා. ඔයිට වඩා හොඳින් හැගීම් මතුවෙන ආකාරයට ඒ දර්ශනය සංස්කරණය වෙලා තිබුණා. මුල් පිටපත බැලූවොත් තමයි කෙනෙකුට තේරෙන්නේ සෙන්සර් කරපු දර්ශන දෙක කොයිතරම් හොඳට රූපගතවෙලා, සංස්කරණය වෙලා තිබුණද කියලා.

විදෙස් රටවල ප‍්‍රදර්ශනය කළ අවස්ථාවල මේ ගැටලූ මතුවුණේ නැත්ද?

විදේශ රටවල ප‍්‍රදර්ශනයේදී ඔය කිසිම ප‍්‍රශ්ණයක් මතුවුණේ නෑ. මුල් චිත‍්‍රපටිය ඒ විදිහටම තමයි ප‍්‍රදර්ශනය කළේ. අඩුම තරමින් වයස් සීමා යටතේ වර්ග කිරීමක්වත් නැතිව පොදු මහජන ප‍්‍රදර්ශනයක් විදිහටයි ගියේ. ප‍්‍රමිති ගත කිරීමක් හැරුණම අරව කපන්න, මේවා කපන්න කියලා විදේශ රටවල කියන්නේ නෑනේ. චිත‍්‍රපටි උළෙලවලදී නම් කිසිසේත් එවැන්නක් කියන්නේ නෑ. එහෙම කියන එක නිර්මාණකරුවාට කරන අ‍ෙගෟරවයක් හැටියටයි ඒ අය සළකන්නේ. සිනමා නිර්මාණයකට එහෙම අත තියන්නේ නැහැ.

සංවාදය – ශ‍්‍රීලාල් සෙනෙවිරත්න


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

0 comments: