රඟපෑමෙන් ඉවත් වෙනවා - සඳනි.


සිරස රූපවාහිනී නාළිකාවේ විකාශය වූ රවීන්ද්‍ර විජේරත්නගේ තූර්යා ටෙලිනාට්‍යයේ පැංචි චරිතය තුළින් බොහෝ රසික පිරිසකගේ කතාබහට ලක්වූ සඳනි මධුභාෂිණී මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකින්ම ඔබේ ආලින්දයට ගොඩවදියි. සිරස රූපවාහිනී නාළිකාවේ විකාශය වන සුජාතා ටෙලිනාට්‍යයේද රංගනයේ යෙදෙන සඳනිගේ අලුත් තොරතුරු අපි විමසුවෙමු.


  • Q තූර්යා හරහා සඳනිගේ රංගන දිවියේ විශාල වෙනසක් වුණා නේද?

මම මේ දක්වා ටෙලිනාට්‍ය කිහිපයක රඟපාලා තිබුණත් බොහෝදෙනා අතර ගොඩක් ජනප්‍රිය වුණේ තූර්යා ටෙලිනාට්‍යයේ පැංචි චරිතය. ටෙලිනාට්‍යය විකාශය නිමාවෙලා තිබුණත් අදත් ඒ චරිතයට බොහෝ ප්‍රතිචාර ලැබෙනවා. 


  • Q ඔබ නිළියක් වුණේ පාසල් යන කාලේ?

ඔව්. දෙරණ නාළිකාවේ විකාශය වුණ නිමල් රත්නායක මහත්මයා අධ්‍යක්ෂණය කළ වස්සාන සිහිනය තමයි මගේ පළමු ටෙලිනාට්‍ය. නමුත් නිළියක් වෙන්න කලින් මම දෙරණ නාළිකාවේ ටිකිරි පොකුර කියලා ළමා වැඩසටහනට නිවේදිකාවක් විදිහට කටයුතු කළා. ඒ වගේම තමයි ඒ කාලයේදී මම වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් දායක වුණා. වස්සාන සිහිනය ටෙලිනාට්‍යය සඳහා දායක වුණාට පාසලෙන් නම් අකැමැති වුණා. ඒ නිසා පාසල් අධ්‍යාපනය නිමා වෙනකම් ටෙලිනාට්‍යවලට දායක වුණේ නැහැ.


  • Q පාසල් අධ්‍යාපනය නිමාවුණාට පස්සෙ නැවතත් රංගනයට ආරාධනා ලැබුණාද?

ගොඩක් ආරාධනා ලැබුණා. ඒත්, මම සිරුරෙන් පොඩි නිසා ඔවුන් බලාපොරොත්තු වුණ චරිතයට මාව ගන්න බැරිවුණා. නමුත් පසුගිය අවුරුද්දෙ ඉඳලා මම දිගටම රංගන කටයුතුවලට දායක වුණා.  හිරු ටී.වී. නාළිකාවේ විකාශය වුණ සඳ පිනි බිඳක නාට්‍යය තමයි මාව මුලින්ම අඳුනගත්තේ. ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වුණ යාය 4, සිරස නාළිකාවේ තූර්යා වගේම ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වුණ හිම කඳු වැනි මා රඟපෑ චරිත බොහෝදෙනාගේ කතාබහට ලක්වුණා.


  • Q ඔබ දැන් ආයෙත් නිවේදන කටයුතු කරනවා නේද?

දෙරණ නාළිකාවේ සඳුදා සවස 6.00ට විකාශය වන රෙකෝඩ් බාර් වැඩසටහන කරන්නෙ මම. පොඩි කාලෙ දෙරණ නාළිකාවේ මම ටිකිරි පොකුර වැඩසටහනේ නිවේදිකාවක් විදිහට කටයුතු කළාට පස්සෙ තමයි මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුණෙ. 


  • Q සඳනි දැන් ගුරුවරියක් විදියටත් කටයුතු කරනවා නේද?

රොටරි ජාත්‍යන්තර පාසලේ ගුරුවරියක් විදිහට කටයුතු කරනවා. රංගනය කියන්නෙ මගේ විනෝදාංශයක්. ඒ නිසා අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යන්න තමයි මගේ සැලසුම් වෙලා තියෙන්නෙ. පසුගිය කාලයේදී කැලණි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියක් සඳහා සම්බන්ධ වෙලා හිටියා. දැන් ඒ උපාධිය සම්පූර්ණ කරලා තියෙන නිසා වෘත්තීය මට්ටමේ ගුරුවරියක් විදිහට කටයුතු කරන්න ඉදිරියේදී අවස්ථාව ලැබෙයි කියලා හිතෙනවා. බොහෝ විට එතකොට මම රඟපෑමෙන් සමුගනියි. 


  • Q ඔබ තවමත් යෞවනියක් නිසා රඟපෑමෙන් ඉවත්වීම අසාධාරණයක් කියලා හිතෙන්නෙ නැද්ද?

නැහැ. මම කරන වෘත්තියට පමණයි මුල් තැන දෙන්නේ. ගුරුවරියක් වුණාම මට කලා කටයුතුවලට එකතු වෙන්න තියෙන කාලය අඩුයි. නමුත්, අදහසක් තියෙනවා ඉඩ ලැබෙන පරිදි කලා කටයුතුවලටත් දායක වෙන්න.


  •  Q මෑත කාලයේදී ඔබ ටෙලිනාට්‍ය තුළ එතරම් දකින්නට නැහැ?

දැනට මගේ සුජාතා ටෙලිනාට්‍යය විතරයි විකාශය වෙන්නෙ. උපාධිය සඳහා පැවති විභාග කටයුතු නිසා පසුගිය කාලයේදී මම වැඩිපුර ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ නැහැ. ඉදිරියේදී සුජාතා ටෙලිනාට්‍යය හැරෙන්නට මා රංගනයෙන් දායක වුණ අලුත් ටෙලිනාට්‍ය නැහැ. 


  • Q සඳනිට විශේෂයෙන්ම මතක් කරන්න පිරිසක් ඉන්නවා නේද?

තූර්යා ටෙලිනාට්‍යය හරහා තමයි බොහෝ පිරිසක් මාව නිළියක් විදිහට අඳුනගත්තේ. ඒ අවස්ථාව ලබාදුන්න රවීන්ද්‍ර විජේරත්න මහත්මයාව මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරන්න කැමැතියි. ඊට අමතරව තරංග දිසානායක හා නිලන්ත කුමාරසිරි දෙදෙනාවත් මතක් කරන්න ඕනා. මගේ අම්මා තමයි මාව මේ තත්ත්වයට ගෙන එන්න උදව් කළේ. ඇය නිතරම මගේ ආරක්ෂාවට මා පසුපසින්ම හිටියා. පවුලේ අනිත් කට්ටියත් හැම වෙලාවෙම මට උදව් කළා. ඔවුන් සියලුදෙනාම මේ මොහොතේදී ආදරයෙන් මතක් කරනවා.


බුද්ධීක සේනාධීර

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

0 comments: