තනාෂා මේ අවුරුද්දේ අළුත් වැඩකට.


නිරූපිකාවක් ලෙස ඔබගේ ආදරය දිනාගත් රුවිනි තනාෂා හතරසිංහ වර්තමානය වනවිට සිනමා නිළියක් ලෙසද රසික ඔබ හමුවට පැමිණීමේ සූදානමින් සිටියි. ඒ නලින් රාජපක්ෂකගේ 'රන් දේදුන්න' චිත්‍රපටය තුළිනි. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස දිගහැරෙන මෙහි එන ප්‍රධාන නිළි චරිතය තනාෂා විසින් නිරූපණය කරනු ලබන්නීය. කලකට පසුව සමගින් තනාෂා සිය අලුත් තොරතුරු හුවමාරු කරගත්තේ මෙසේය.


  • Q අලුත් අවුරුද්දේ තනාෂාගේ අලුත් බලාපොරොත්තු ගොඩක් තියෙනවා කියල ආරංචියි?

මගේ පළවෙනි චිත්‍රපටය නලින් රාජපක්ෂගේ 'රන් දේදුන්න' හරහා සිනමාවට වැඩිපුර දායක වෙන්න තමයි මේ අවුරුද්දේ මගේ තියෙන ලොකුම බලාපොරොත්තුව. දැනට චිත්‍රපට කිහිපයක් සඳහා මේ වසරේදී එකතු වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. තවමත් ඒවා සාකච්ඡා මට්ටමින් යන නිසා ස්ථිරව කියන්න බැහැ ඒ නිර්මාණ මොනවද කියලා. 


  • Q කොහොමද ඔබට 'රන් දේදුන්න' චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණේ?

දෙරණ නාලිකාව විසින් සංවිධානය කළ මිස් ශ්‍රී ලංකා තරගයට සම්බන්ධ වෙලා එහි අවසන් තරගකාරියන් තිදෙනා අතරට එන්න අවස්ථාව ලැබීමත් සමග කලා ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙකු හඳුනාගන්න ලැබුණා. ඒ හැඳුනුම්කමක් මත තමයි මට 'රන් දේදුන්න' කියන චිත්‍රපටයට දායක වෙන්න ලැබුණේ. නමුත් කොහෙත්ම මගේ විශ්වාසයක් තිබුණෙ නැහැ මේ තරම් ඉක්මනට ලාංකීය සිනමාවට දායක වෙන්න ලැබෙයි කියලා. ඒත්, මේ ලැබුණ අවස්ථාව ගැන ලොකු සතුටක් මා තුළ තියෙනවා. 


  • Q මේ චිත්‍රපටයේ තනාෂා රඟපාන්නේ?

'රන් දේදුන්න' කියන්නේ ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයක්. මෙහි මා මාධ්‍යවේදිනියකගේ චරිතයක් තමයි නිරූපණය කරන්නේ. මගේ පෙම්වතා ලෙස රඟපාන්නේ රොෂාන් රණවන. දැනට මෙහි සියලු වැඩකටයුතු අවසන් කරලා තියෙනවා. මම හිතන්නේ තවත් නොබෝ දිනකින් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වේවි. 


  • Q නිරූපිකාවක් ලෙස දැන හඳුනාගත් ඔබ අද නිළියක් බවට පත්වෙලා. විශේෂයෙන්ම සිනමා නිළියක් බවට?

ඇත්තටම මම කැමතියි නිරූපිකාවකට වඩා රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන්න. මා රංගනයෙන් දායක වුණ පළමු ටෙලි නාට්‍යය 'තිමිරගිර' හි ‍'භාග්‍යා මිස්' කියන චරිතය බොහෝ දෙනෙකු අතර අතිශය ජනප්‍රිය වුණා. ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. මම හිතන්නේ 'රන් දේදුන්න' චිත්‍රපටයේ මා රඟපාන චරිතයටත් එවැනි ප්‍රතිචාර ලැබෙයි කියලා. අද වුණත් පාර තොටේදී යනකොට ‍'භාග්‍යා මිස්' කියලා බොහෝදෙනෙකු කතා කරනවා.

එවැනි රසික ප්‍රතිචාර ලැබෙද්දී සියුම් සතුටක් එනවා. ඒ නිසාම තමයි මම හිතුවේ නිරූපිකාවකට වඩා නිළියක් විදිහට මගේ රසිකයන්ට ළං වෙන්න තියෙනවා නම් හොඳයි කියලා.  අද වනවිට බොහෝ නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවා. තිර පිටපත් බලලා ඒ ආරාධනා බාරගන්නවා. බොහෝදුරට මම තවත් බොහෝ නිර්මාණවලින් මේ වසරේදී මගේ රසික පිරිස් හමුවේවි.


  • Q එතකොට තනාෂා නිරූපණ සහ අනෙකුත් කලා කටයුතු වලින් ඉවත් වෙනවාද?

නිරූපණ කටයුතුත් සුපුරුදු පරිදි ඉඩ ලැබෙන විදිහට කරගෙන යනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් සහ ගීත රූප රචනාවලටත් දායක වෙන්න අදහස් කරමින් ඉන්නවා. නව වසර උදාවත් එක්ක මා දායක වුණ වෙළෙඳ දැන්වීම් කිහිපයක් විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා. පසුගිය වසරේදී මම ටෙලි නාට්‍යවලට වැඩිපුර තැනක් දුන්න නිසා මේ වසරේදී ටෙලිනාට්‍යවලින් තාවකාලිව ඈත්වෙන්න සැලසුමක් තියෙනවා. බොහෝවිට ඒකට හේතුව මේ වසරේදී මම සිනමා නිළියක් විදිහට තරමක් දුරට කාර්යබහුල නිසා. 


  • Q නිළියක් වුණාට ගෙදර අය කැමතිද?

ගෙදර අයගේ කැමැත්ත මත තමයි මම දෙරණ 'මිස් ශ්‍රී ලංකා' තරගයට ඉදිරිපත් වුණේ. අම්මා තමයි මාව උනන්දු කරලා ඒ තරගයට අයදුම්පතක් යොමු කළේ. ගෙදර හැමෝගෙන්ම ලොකු සහයක් ඒ තරගයේදී මට ලැබුණා. ගෙදර අනෙක් කට්ටියට වඩා මගේ අම්මා තමයි මා ළඟින් හැම වෙලාවෙම හිටියේ. අදටත් මගේ අම්මා තමයි මගේ තනි නොතනියට මේ කලා කටයුතුවලට එන්නේ. නිරූපිකාවක් වන කාලේ ඉඳලා ගෙදර කට්ටිය කැමතියි මම කලාවට සම්බන්ධ වෙනවට. ඒ නිසා නිළියක් වුණා කියල ලොකු වෙනසක් පවුලේ අයගෙන් මට සිදුවුණේ නැහැ. 



බුද්ධීක සේනාධීර.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

0 comments: