ඉවරයක් නැති කෝලම් - 'ආච්චිගේ කොලම' ට ලියූ සහන් සමග කතාබහක්.


ලංකාවේ තියෙන ජනප්‍රියම පත්තරේ වුනත් ලක්ෂ 5ක් විතරක් බලද්දී, ලක්ෂ 20 ක විතර මිනිස්සු බලන්නේ facebook එක. ඉස්සර දක්ෂ තීරු ලිපි රචකයින්ගේ තීරු ලිපි, කොලම් කියවන්න ආසාවෙන් බලාගෙන හිටපු අය දැන් එහෙම රහට ලංකාවේ සමාජ දේශපාලන තොරතුරු කියවන්න හොයන්නේ, විඳගන්න හොයන්නේ අන්තර්ජාලයෙන්.

ඒ විදිහට පහුගිය දවස්වල ලංකාවේ දේශපාලන සමාජ විපර්යාස එක්ක අති ජනප්‍රිය වුනේ කාන්තාවක්. මේ කියන්නේ තිස්ස අත්තනායක මහත්තයාගේ දුව ගැන එහෙම නෙවි. සහන් කසීර වික්‍රමසිංහගේ 'ආච්චි' ගැන. 'ආච්චිගෙන්' හොඳට දන කියාගෙන මේවා 'ආච්චිගේ කොලම' විදිහට facebook එකට ලියපු සහන් ඒවා එකතු කරලා පොතක් විදිහට එළි දක්වන්නේ හෙට. ඒ ගැන සහන් එක්ක කතාබහ ආරම්භ කලේ මෙහෙම.

  • ඇත්තටම ඇයි ආච්චිවම තෝරගන්නේ කොලමක් ලියන්න?
ඒක නිකම් අහඹු සිතිවිල්ලක් විතරයි. පළවෙනියට ලියපු ලිපියට ආච්චිව ගාව ගත්තු නිසා ඒ චරිතය දිගටම ගෙනියන්න හිතුවා. ආච්චි කිවුවා කියලා කියද්දි ඒ මොකක්ද කියලා දන ගන්න උනනදුවක් තියෙනවා. නමුත් ඒ දේම මම හිතන දේවල් විදියට කියන්න ගියොත් නීරස වෙයි කියලයි මට හිතෙන්නේ.

  • මේ විදිහට ලියන්න ඕන කියලා සහන්ට ඉස්සෙල්ලම හිතෙන්නේ ඇයි?
හිටපු අගවිනිසුරුවරිය ධූරයෙන් පහ කිරීමට අදාල සිදුවීමක දි ඒ ප්‍රශ්නයට අදාල සමස්ත ක්‍රියාවලිය දිහා බලද්දි මට හිතුණ දේ ලිවුවා. නමුත් හැම පැත්තම සමබර කරන්න ඕනේ නිසා ආච්චිවත් ගාව ගත්තා.ඒක තම්යි ආරම්භය. එතැනදි ආච්චිගේ අදහසට හොඳ ප්‍රතිචාර ලැබීම හරහා ඊළඟ ලිපියේදි ආච්චිව ගේන්නේ නැතුව ඉන්න බැරිවුණා. දැන් ඉතින් ආච්චි නැතුව ලියන්න කොහොමත් බැහැ. මේ තමයි මට ලියන්න නිදහස් රටාව. ඒ රටාව තුළ මට අදහස් ප්‍රකාශ කරන්න ලේසියි.

  • සහන් කියන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු හොඳ ලේඛකයෙක්? කවිකාරයෙක්?
ඒක ටිකක් බරපතල ප්‍රකාශයක්. සහන් කියන්නේ ආනන්දේට හිටිය හොඳම ලේඛකයෙක් ද කියන එක තීරණය කරන්න ඕනේ සහන් නෙමෙයි. ඒ කාලේ සහන් ලියපු දේවල් කියවපු අය. සර්වකාලීනව කෙසේ වෙතත් , මගේ පාසල් කාලය තුළදි සමකාලීනයන් අතර යමක් දැනෙන්න ලිවුව බවට ස්වයං තක්සේරුවක් තියෙනවා. මගේ කාලයේ ආනන්දය පමණක් නෙවෙයි පස්සේ පරම්පරාවේ ආනන්දය පවා ඒ හැකියාවෙන් වැඩ ගත්තා. කවි - නිසඳැස් ලිවුවා. මම හිතන්නේ ඒ කාලේ වැඩියෙන් ජනප්‍රිය වෙලා හිටියේ ඒවාට.

  • මේ තියෙන සහන්ගේ facebook කාලයනේ, ආච්චිව මීට වඩා ජනතාව අතරට ගෙනියන්න ඕන කියලා හිතෙන්නැද්ද?
ඒක ටිකක් සංකීර්ණ වැඩක්. ගම හරහා දුව දුව ඉඳලා එක පාරම ඔලිම්පික් දුවන්න අමාරුයි. සාෆ් - ඒෂියන් ගේම්ස් , කොමන්වෙල්ත් ගේම්ස් එහෙම දුවලා ඊට පස්සේ ඔලිම්පික් දුවන එක තමයි නුවණට හුරු.
  • ඒ කියන්නේ ආච්චිගේ කොලම පොත මෙතනින් නවතින්නේ නැහැ?
ඔව්. නවතින එකක් නැහැ. දෙවන කොටසත් කරන්න කියලා ඉල්ලීම් එනවා. අලුතින් ලියන්න දෙයක් නැහැ. ලියපු ඒවා තියෙන නිසා දෙවැනි කොටසක් කිරීමේ අදහසක් තියෙනවා.

  • පොතෙන් එහාට ටිකක් කතා කලොත්, පවතින ක්‍රමය ගැනද, ක්‍රමය කරවන අය ගැනද ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ? ක්ෂේත්‍රය මොකක් උනත්?
කරවන අයට වඩා ක්‍රමය පිළිබඳව ගැටළුවක් තියනවා. කවුරු කෙරුවත් සෙක්කුවේ බැඳපු ගොනා වගේ එකම වටේ යනවා නම් ඒකේ තේරුම ක්‍රමය තරමක් අවුල් සහගතයි කියන එක නේද?

  • ක්‍රමයේ වැරද්දක් තියේ නං, ඒකෙ ජීවත් වෙන අයව වෙනස් කරන එක කොහෙන් පටන් ගත්තොත් ද හොඳ?
වෙනස පටන් ගන්න ඕනේ අපි තුළින්මයි. ඒ වෙනස් වෙන්න ඕනේ දේවල් තමා හැම වෙලාවෙම ආච්චිගේ ඇසට අහුවෙන්නේ.

  • ආච්චි හෙට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයට එන්න ලෑස්ති ද?
ඔව්. ජාත්‍යන්තර බලපෑම්, විජාතික කුමන්ත්‍රණ , පිටසක්වල ඇඟිලි ගැසීම් මැද ආච්චි එයාට මනාපය පල කරපු ජනතාව වෙනුවෙන් ලෑස්ති වෙනවා.

  • හෙට දවල් 3.30 ඉඳන් 6.00 වෙනකන් ආච්චිත් එක්ක ඉන්න කැමති ඕන කෙනෙක්ට එන්න පුලුවන්ද?
ඔව්, ඔබටත් අසුනක් එහි ඇත.

 Chat : Anushi Hakmanage

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

0 comments: