මැරි මැරී උපදින ජීවිත ගැන අපට කියන බොරදිය පොකුණ.


ඇය ගාර්දිවසම් දෝන පද්මා ආරියලතා නොහොත් ගෝතමියයි. සත්‍යජිත් මාඉටිපේගේ බොරදිය පොකුණ චිත්‍රපටයේ කතා නායිකාව ඇයයි. ඇය සමාජ සම්මතයට අනුව කිසි පෙනුමක් නැති කටකාර යුවතියකි. ඇය හා මනා රූ සපුවක් හිමි මංගලාද, තැන්පත් චාම් ගතිගුණවලින් හෙබි සුවනීතාද ( සමාජ නීර්ණයන්ට අනුව) එකම ස්ථානයක රැකියාව කරන අතර, එකම බෝඩිමක වෙසෙයි. ඔහු විපුලය. පත්තිනි හේවාරාලලාගේ විපුලය. ඔහු යුද හමුදාවේ සේවය කරයි. මාඉටිපේ බොරදිය පොකුණ කේන්ද්‍රගත කරන්නේ මෙම චරිත හරහාය. මෙයින් මගේ මනස කළඹන්ගේ ගෝතමීය. ගෝතමීව මුලින්ම අපට හමුවන්නේ පාසලෙන්  ප්‍රතික්ෂේප වන දර්ශනයකිනි. මෙතැන් පටන් ඉතා සංවේදී ලෙස ඇය මාගේ සිත තුළ ඇති කරන්නේ දරුණු හිස් බවකි. 

අප බලාපොරොත්තු වන ආදරය, පිළිගැනීම, තේරුම්ගැනීම අපට නොලැබෙන තැන අපට ඇතිවන්නේ දරාගත නොහී දුකකි. කුඩා කාලයේ අපේ බලාපොරොත්තු ඉතා අහිංසකය. ඒවා සීමාසහිතය. නමුත් එවැනි අහිංසක ආශාවක්වත් කුඩා කාලයේදී අපට නොලැබෙද්දී අප හඬනවා හැරෙන්නට වෙන මොනවා කරන්නද? නමුත් වයසින් මුහුකුරා යද්දී සමාජය හා උරෙනුර ගැටෙද්දී අප ශරීරයෙන් වර්ධනය වෙද්දී කුඩා කල ඇට, මස්, ලේ නහරවලට නොදැනෙන ප්‍රේමයෙන්, ලිංගිකත්වයෙන් අපේ සිත පිරෙද්දී, ඒ දේවල් අපට බලාගන්නට බැරි කාලකණ්ණිකමක් අප තුළ තිබේ නම් කළයුත්තේ කුමක්ද? ඒ අපට උරුම වූවක්ද? උරුම කර දුන්නක්ද? 

ගෝතමීගේ ජීවිතයේ ඇති ඛේදවාචකය මා දුටුවේ සමස්ත සමාජයේම ඛේදවාචකයක් ලෙසයි. අප සමාජයේ බොහෝ සුන්දර මිනිසුන් ලෙස ජීවත්වෙමු. කුටුම්භය තුළ ඒ සඳහා අපට හිමිවන්නේ සුවිශේෂී තැනකි. නමුත් ඇතුළාන්ත ජීවිතය ගත් කල ගෝතමීගේ ජීවිතයට සමාන වූ ද, එසේ නැත්නම් වෙනස් මනෝලිංගික සංකීර්ණතාවලින් හෙම්බත් වී මළ මිනිසුන් වී ඇත්ද?

නමුත් බොහෝවිට එය ලොවට නම් රහසකි. මෙවැනි පරිසරයක් මත දිගහරින ගෝතමීගේ චරිතය අපට සමීප කරගැනීම බලෙන් සිද්ධවන්නක් නොව එය අපේ සිතුවිලි හා සමග නිරායාසයෙන් සිද්ධවන්නකි. විපුල හෝ වේවා වෙනයම් කාගේ හෝ වේවා ලිංගික සන්තර්පණයක් බලාපොරොත්තු වන ගෝතමී බලෙන් ලිංගික සුවය ලබද්දී මම එය සාධාරණීකරණය කළෙමි. 

සමාජ සම්මතයට අනුව එය නොහොබිනා ක්‍රියාවක් ලෙස දැකීමට පුළුවන. නමුත් ප්‍රේමය හා ලිංගිකත්වය ජීවිතේ උපරිම වශයෙන් ලබන මංගලා වැනි චරිත හමුවේ ප්‍රේමය, ලිංගිකත්වය, පිළිගැනීම මේ කිසිත් නොලබන ගෝතමී කොයිතරම් නම් දැඩි මානසික ආතතියක ඇතිද? එහෙයින් ඒ හැඟුම් කෙසේ හෝ නතු කරගැනීමට වෙර දැරීම කිසිවෙකුටවත් බැහැර කළ හොහැක. 

ඉරිතලා ගිය පොළොවකට වැස්සක් හෝ නොලැබෙද්දී පොළොව කුමක් කරන්නද? එය අහසේ වරදක්ද? වැස්සේද නැත්නම් කර්කශ පොළොවේද? අපේ වහරින් කියන පිරිමි පුළුටක් හෝ ඇගේ ඇඟේ දැවටෙන්නට, ඇයව පිළිගන්නට අකමැති සමාජ සංස්ථාවේ සම්මත ලකුණු ක්‍රමයේ ඍණ අගයක් ඇයට උරුම කර දී ඇති නිසාද? ගෝතමීගේ උතුම් හදවත ගැන මිනිසුන්ට නොදැනෙන්නේ ඇයි?

ගෝතමීට නැති වී තිබෙන අයිතීන් දිනාදීමට මගේ සිත හා උත්සාහ දරන්නේ ගෝතමීගේ චරිතයේ සුවිශේෂීත්වය හරහා මගේ ප්‍රතිබිම්භය මා ගෝතමී තුළින් දකින නිසා පමණක් නොවේ. හැම මිනිස් ජීවිතයකම ලොවට නොපෙන්වන අඳුරු පැතිකඩක් අප හැම තුළම පවතින හෙයිනි. නමුත් එය කඩතිරවලින් වසන් කර තබමු. කෙසේ හෝ වේවා ඇතුළාන්ත ජීවිතය හෙළිකරන කළ ගෝතමීලා නැතිවෙන්නට බැරිය. අවාසනාවට රූපය සඳහා වැඩිපුර ලකුණු ලබාදෙන මූලධර්මයේදී හදවත හා මිනිස්කම වැනි ආත්මීය සාධක සඳහා අඩු අගයක්, නැත්නම් අවතක්සේරුවක් ලබාදීම කොතරම් හීනමානද? එම සාධක තීරණය කරනු ලබන්නේ හදවත නැති මිනිසුන් නම් කම් නැත. නමුත් හදවත්වලට දොරගුලු දා, සමාජ පොදු සාධක දොහොත් මුදුනින් පිළිගනිමින් තම හදවතේම කොතරම් මානුෂීය කාරණා වළදමා තිබේ ද?  

විපුල හා මංගලා ලිංගික සුවය හා ඒ මොහොතේදී ජීවිතය විඳීම බලා ඉන්පසු තම කාමරයේ ස්වයංවින්දනයේ යෙදෙන ගෝතමී පිළිබඳව මසිතේ ඇතිවන්නේ දැඩි අනුකම්පාවකි. ලස්සන ගැහැනු හා පිරිමින් නටන දෙස බලා අහිංසක සතුටක් ලබන්නට ඇයට ඉතිරි වීම ඇගේ වරදක් නොවේ. ඇයට සමාජය කෙරෙහි වෛරයක්, කුහකකමක්, පිළිකුළක් ඇතිවීම අරුමයක්ද?

තමා සේවය කරන තැන අඹරැල්ලා ගෙඩිය රසවිඳින ගැහැනු අවසානයේ ගෝතමීට ඉතුරු කරන්නේ අඹරැල්ලා ඇටය පමණි. පසුව ආයතනයේ නිලධාරිනියගෙන් බැණුම් අසන්නේද ඇයයි. ඉදින් ඇය එම දුක තුනී කරන්නට දරන උත්සාහය සාර්ථක වූ පසු අහිංසකව සතුටු වීම ඉමහත් සාධාරණය. මේ ක්‍රියා ඉතාමත් පොදුය. 

විපුල හා එක්වීමට පසුත් ගෝතමී විපුල සොයායන්නේ හුදු ලිංගිකත්වය පමණක් අපේක්ෂා කරන නිසාද? නැත්නම් මාතෘත්වයේ අපේක්ෂාව හිත ඇතුළේ හටගෙන ඇති නිසාද?

කෙසේ හෝ විපුලට දාව උපදින දරුගැබ හමුවේද ඇය අන්ත අසරණ ගැහැනියක වෙයි. දරුගැබ විනාශ කිරීම සඳහා විපුලගේ මිතුරන් බල කරන නිසා සියල්ල හැරදා යන ගෝතමී දරුවා ප්‍රසූත කර දුම්රිය පොළක දමා යන්නේ ඇය තුළ මාතෘත්වයේ අගය නැති නිසා නොවේ. ඇය හුදු වීරවරියක් නොවන්නේ එහෙයිනි. 

මෙවැනි සංකීර්ණ මනෝභාවයන් ඉතා සියුම් ලෙස අධ්‍යයනය කර බොරදිය පොකුණ හරහා ගෙනෙනා මාඉටිපේ මේ හැම චරිතයකින්ම ඉතා සියුම් ලෙස සමාජ හා ජීවිත විග්‍රහ කරයි. එසේම මිනිස් හැසිරීම් රටා හා එහි සංකීර්ණතා හඳුනාගන්නටද ඉතා සූක්ෂ්ම ලෙස ඔහු සමත් වී ඇත.

 එසේම ගෝතමී ඇතුළු සෙසු චරිත හරහාද විවිධ සමාජීය පසුබිම් විවරණය කරන්නට, අපූර්වත්වයෙන් හසුකරගන්නට ඔහු සමත් වී ඇත. ගෝතමී විශේෂයෙන් හැම හදවතකම විශේෂයෙන් ලැගුම්ගන්නේ එම චරිතයේ ඇති ජීවමාන බව නිසාය. ඒ සමාජ යථාර්ථයයි. එය අපට  වසන් කර සුදු හුණු ගා වසා දැමිය නොහැක. 

ලාංකීය සමාජය තුළ ලිංගිකත්වය ලොවට රහසකි. එය හැංගිය යුතු විවෘතව කතාකළ යුතු නැති පටු මායිම් ඇති කාරණයකි. නමුත් මෙවැනි මනෝලිංගික සංකීර්ණතා විවෘතව කතාකළ යුතු දෙයක් මිස බැහැර කළ යුතු දෙයක් නොවේ. එය අතිශය මානුෂීය කාරණාවකි.

එය ඇතමුන් හුදු අසංවර ක්‍රියාවක් ලෙස අර්ථ දැක්වීමට පුළුවන. නමුත් එය එසේ කළයුත්තක් නොවේ. අප යථාර්ථය සඳහා මුහුණදීමට මෙතරම් අකමැති මන්දැයි අප විසින්ම තේරුම්ගත යුත්තකි. 

ඒ දරුවා දුම්රියපොළක දමා රට හැරයන ගෝතමී නැවත තම රටට පැමිණෙන්නේ කුටුම්භයක් තුළ තම ජීවිතය මනා ලෙස ගෙනයාම සඳහායි. නමුත් කර්මය නිතැතින් ඇය පසුපස හඹාඑන්නේ දරුණු ලෙසය. ගෝතමීට ඩෙස්මන් (පසුව විවාහ වන ස්වාමිපුරුෂයා) මගින් ලැබෙන්නට සිටින දරුවා ස්වාභාවික ගබ්සාවකින් මියයන්නේ ඇයට ඇගේ ජීවිතය පිළිබඳ තවත් ප්‍රශ්න ගොනු කරමිනි. විපුල විසින් තමාට දාව උපන් දරුවා දමාගිය හෙයින් මෙවන් අන්ත දුකකට ගෝතමියට ජීවිතයම නියඟයක් කරන්නේ කාගේ පවකටද? තම පවුල හොඳින් ගොඩනඟන්න වෙරදරන ඩෙස්මන්ගේ කලින් බිරිඳ හා දරුවා ඔහුට ළංවෙන්නට යන බව දැන එය දරාගන්න බැරිව ගෝතමී නිවසින් පිටවී යාම වරදක් නොවන්නේ ඇයට අහිමිව ගිය දේවල් නැවත ලැබෙන විට එම සබඳකම් උපන්ගෙයිම මියැදෙන්නට උත්සාහ දරන නිසාවෙනි. 



තමා හැරදා ගිය දරුවා සොයායන ගෝතමීට දරුවා සොයාදෙන්නට වෙහෙස දරන කාන්තාව "ඔයාට ඔය දරුවා ලැබුණේ දූෂණයකින්ද? නැත්නම් පෙම්වතා දාල ගියාද?" කියා අසන කල පොළොව පවා උහුලාගත නොහී දුකකින් "මට වදදෙන්න එපා" කියා ඇය හඬන්නේ මා තුළ ඇය කෙරෙහි වැඩුණු දුක තව තවත් සනාථ කරමිනි. ඇය මැරුණා නම් එය අවසානය. විඳවීම අවසානය. එය ඊට වඩා යහපත් නොවේ ද? 

තමාට ලැබුණු ප්‍රේමය, ලිංගිකත්වය, සුරක්ෂිතභාවය, පිළිගැනීම තම ජීවිතයට ලැබෙන්නට පටන්ගත් කල  කර්මය ඇයට මෙතරම් බලපෑම් කිරීම මසිතේ ඇති කළේ දරුණු කනස්සල්ලකි. මම ඇයව මගේ සිත තුළ සුරක්ෂිත කළෙමි. මෙතැන ඇත්තේ ගැහැනුකම පිරිමිකම පිළිබඳ ප්‍රශ්නයක් නොව මනුෂ්‍යත්වය හා ජීවිතය පිළිබඳ ප්‍රශ්නයකි. 

ජීවිතයේ නිරතුරුවම දිනුම අපේක්ෂා කළත් කොතරම් නම් අප පරාජය වෙමු ද? සුන්දර බව ඇතුළේ කොතරම් කර්කශ බවක් ඇත්ද? ජීවිතයේ අන්ත දුක් වින්ඳ ගෝතමී පසුව ජීවිතය පියවරින් පියවර ගොඩනගාගනිද්දී සුන්දර සැප හිමි වී තිබූ මංගලාට අවසානයේ ලැබෙන දුක සමාජය උඩු යටිකුරු කරයි. අප ජීවිතයේ සියලු දේ ලැබේවායි පැතුවද අප තුළ කොතරම් දරුණු හිස් බවක් ඇත්ද?

ප්‍රේමය, ලිංගිකත්වය හා විවාහය යන ත්‍රිවිධ කාරණා හමුවේ ගොඩනගා ඇති බොරදිය පොකුණ චිත්‍රපටය අවසානයේ මා තුළ ඇති කරන්නේ දැඩි කම්පනයකි. අප ජීවිතයේ මොනතරම් නම් අන්ත අසරණ වෙමුද?  මෙවන් රළු සමාජ දේශපාලන රටා අප මනසින් බැහැර කළ හැකිද? 

ගාර්දිවසම් දෝන පද්මා ආරියලතා නොහොත් ගෝතමී හරහා මම මගේ ලෝකයට එබිකම් කළෙමි. එහෙයින් මම මගේ ජීවිතය හරහා ගෝතමීට බද්ධ වීමි. බොරදිය පොකුණ සෑම තත්පරයක් පාසා මම ජීවිතය කියෙව්වෙමි. ජීවිතයේ මූසල පැතිකඩක් හඳුනාගතිමි. ජීවිතය ගළපන්න දුක, අඳුරු, ගුප්ත, සියුම් මානයන් සොයන්නට වෙහෙස ගත්තෙමි.  අවසානයේ සමස්ත චිත්‍රපටයම මට මගේ ජීවිතය මෙන් විය. 


ඉන්ද්‍රජිත් මහවඩුගේ.


0 comments: