රජුට බයෙන් මුහුණේ පච්ච කොටන ගැහැනු.


මේ අන්තිම පරම්පරාව. මේ තලතුනා ගැහැනුන් පොළොව යට සැඟවුණු කල මේ ගෝත්‍රයේ සම්ප්‍රදායද සැඟව යනු ඇත. බුරුමයේ සීතල කඳු පන්ති පාමුල උණ කණු මත ඉදිවුණු පැල්පත්වල ජීවත් වන බුරුම ගෝත්‍රික ජනයා ඔවුන්ටම ආවේණික වූ සම්ප්‍රදායන්වලට නුදුරු අනාගතයේදීම ආයුබෝවන් කියනු ඇත.

ගැහැනිය සැබැවින්ම පිරිමියාට වඩා වෙනස්ය. ඇය සතු සිතුම් පැතුම්ද එකිනෙක වෙනස් වෙයි. බුරුමා ගෝත්‍රයේ ගැහැනුන්ද එසේමය. එකල බුරුමයේ සිටි රජවරු ගැහැනිය වහලියක කරන්න නියෝග නිකුත් කළහ. රජ කෙනකුගේ අණට පිටුපෑම බොහෝ භයානකය. සියුමැලි ගැහැනියක වහලියක සේ සිර කරන්න එකල රජුන්ට සිතුණේ ඇයිද යන්න ගැටලුවකි. එහෙත් එකල ගැහැනිය වහලියක නොවී ඇයටම දුක් වේදනා ලබා දීමට අදිටන් කොට ගත්තා වන්න පිළිවන. මේ බුරුමා ගෝත්‍රික ගැහැනුන්ගේ මුහුණුවල ඇත්තේ ඒ සලකුණුය.

පච්චා කෙටූ ගැහැනුන් සමාජයේ පහත් තැන්හිලා සැලකේ. සිරුරේ පච්චා කොටා ගන්නේ අභිසරු ලියන්ය. එසේත් නැතිනම් වීදි සරණා කාන්තාවන්ය. සමාජ විරෝධී කතුන්ය. සිරුරේ පච්චා කෙටූ ගැහැනිය ගැන සමාජය දකින්නේ ඒ අයුරිනි. මේ බුරුමා ගෝත්‍රයේ බොහෝ ගැහැනුන් සිරුරේ පච්චා කොටා ඇත. ඔවුන් සියල්ලක්ම වීදි සරණා කතුන් නොවෙයි. තම ආරක්ෂාව උදෙසා සිරුරේ පච්චා කොටාගත් එකියන්ය.

අතීත රජවරුන් වහලියක බවට පත් කරනු ඇතැයි බියෙන් ශරීරයට අනේක වද දෙමින් මුහුණේ පච්චා කොටාගත්තේ බුරුමා ගෝත්‍රයේ ගැහැනුන්මය. මුහුණේ පච්චා කෙටූ කල රජවරු වහලියක සේ එම ගැහැනුන් තෝරා ගැනීම ප්‍රතික්ෂේප කළහ. මුහුණ අවලස්සන වූ ගැහැනියක් නිතර දෙවේලේ දැකීම රජකුට එතරම් ප්‍රියජනක වූයේ නැති නිසාම මෙම ගෝත්‍රික ගැහැනු නිදහසේ වන භූමි තුළ ජීවත් වූහ.

හුදෙකලාව ජීවත් වන බුරුමා ගෝත්‍රික වයස් ගත ගැහැනුන් පවසන්නේ මුහුණ පුරා පච්චා කෙටීම පුරාණ සම්ප්‍රදායක් වුවත් එයින් ගැහැනියකගේ ලස්සන අහිමි වී යන බවයි. ඒ නිසා කිසිම විටෙක ගැහැනිය පච්චා කෙටීමට පෙලැඹීමද යුතු නොවේ යැයි ඔවුහු සිතති. එහෙත් එකල ජීවත් වුණු අම්මාවරු තම තරුණ දියණියන්ගේ මුහුණුවල බලෙන්ම වාගේ පච්චා කෙටූහ. එකක් ආරක්ෂාව උදෙසාය. අනෙක පච්චා කෙටූ ගැහැනුන් ලක්ෂණ බව ඔවුන් විශ්වාස කළ නිසාය. කෙසේ වුවද පච්චා කෙටීම යනු අතිශය වේදනාකාරී ක්‍රියාවකි. මුහුණේ අනෙක් තැන්වල කෙසේ වුවද ඇහි පියන් මත පච්චා කෙටීම සතියක් යනතුරු ආහාර ගැනීමවත් නිදා ගැනීමවත් කළ නොහැකි වේදනාකාරී අත්දැකීමකි.

බොහෝ ගැහැනුන් මකුළු දැලක් බඳු පච්චා කෙටීමට ප්‍රියතාවක් දක්වයි. ඒවා පිළිබඳ පුරසාරම් දෙඩීමට ඊටත් වඩා කැමැතිය. මිනිසුන් මකුළු දැල් වාගේම පැටලිලි සහගතයි. මකුළු දැල් මෙන් සිතිවිලි ගොතා ඒවා ගැහැනුන් යනෙන මඟ දෙපස අතුරා ගැහැනුන් දඩයම් කිරීමට පිරිමි බොහෝ සමර්ථය. මේ මකුළු දැල් පිළිබද බුරුම ගෝත්‍රික ගැහැනුන්ගේ මතයයි.

මේ ගෝත්‍රයේ ගැහැනු ගෙදර ‍ෙදාරේ සියලු වැඩකටයුතු කළ යුතුය. යම් හෙයකින් ගැහැනියට අයිති නිවෙසේ වැඩකටයුත්තක් පිරිමියකු අතින් ඉටු වුවහොත් එය මුළු ගෝත්‍රයටම නපුරක් සිදුවේ යැයි ඔවුහු විශ්වාස කරති. මැට්ටෙන් තැනූ දුම් පයිප්පයක් දෙතොලතර රඳවමින් දුම් උරනා ගමන්ම ගැහැනිය නිවෙසේ සියලු වැඩ කටයුතු ඉටු කරයි.

අද වන විට මේ ගෝත්‍රික ගැහැනුන්ට මුහුණේ පච්චා කෙටීම තහනම් වූ ක්‍රියාවකි. බුරුමා හමුදා ජුන්ටාව විසින් මුහුණේ පච්චා කෙටීමේ සම්ප්‍රදාය තහනම් කොට ඇත. යම් හෙයකින් මුහුණේ පච්චා කෙටුවහොත් දඩ ගෙවීමටද සිදු වෙයි. මිලිටරි ජුන්ටාව විසින් පච්චා කෙටීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට සෑහෙන පියවරක් ගෙන ඇත.


සවනි ශේෂාධි


0 comments: