පළමු වතාවට මම කුඹුරකට බැස්සෙ මහරජ ගැමුණු චිත්‍රපටයේදී. (interviews)


ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්වනිය චිත්‍රපටය තුළින් සිනමා රංගනයට පිවිසි බුද්ධිනී පූර්ණිමා කස්තුරිආරච්චි මේ දිනවල බොහෝ පිරිසකගේ ආදරය දිනාගෙන ඇත්තේ මහරජ ගැමුණු චිත්‍රපටයේ රන් මැණිකා චරිතය තුළිණි. දැනට රංගනයෙන් ඈත්ව සිය අධ්‍යාපන කටයුතුවලට මුල් තැන ලබා දී සිටින බුද්ධිනී සමග අපි කළ කතාබහකි මේ.


  • Q කොහොමද රන් මැණිකා චරිතයට ලැබෙන ප්‍රතිචාර? 

රසික ප්‍රතිචාර නම් ඉතාම ඉහළින් ලැබෙනවා. චිත්‍රපටය නරඹපු බොහෝ දෙනෙක් කිව්වා මම රන් මැණිකා චරිතය හොඳට කරලා තියෙනවා කියලා. ලැබෙන ප්‍රතිචාර ගැන ඇත්තටම නිහතමානීව සතුටු වෙනවා. 


  • Q රන් මැණිකාහා සමනළ සංධ්වනිය චිත්‍රපටයේ පුණ්‍යා කියන්නෙ එකිනෙකට වෙනස් චරිත දෙකක්. කොහොමද මේ වෙනුවෙන් බුද්ධිනී හැඩගැහුණේ?

පුණ්‍යා කියන්නෙ පාසල් ගැහැනු ළමයෙක්. ඒත්, රන් මැණිකා කියන්නෙ රෙද්ද හැට්ට ඇඳපු ගැමි තරුණියක්. නගරයක ජීවත්වුණ කෙනෙක් විදිහට ගැමි චරිතයක් නිරූපණය කරන එක ලොකු අභියෝගයක්. මහරජ ගැමුණු චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවුණේ මාවනැල්ල ප්‍රදේශයේ. ගොඩක් දර්ශන තිබුණෙ කුඹුරුවල. කුඹුරු දැකලා තිබුණත් පළමු වතාවට තමයි කුඹුරක් මැදට ඇවිදගෙන ගියේ. රෙද්ද හැට්ටෙ කොහොමත් මට නුහුරුයි. නමුත්, ඒවා ඇඳගෙන රන් මැණිකා චරිතයට පණ පොවපු එක ගැන ඇත්තටම මට හිතාගන්නත් බැහැ.


  • Q ඔබ හිතනවද රන් මැණිකා චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා?

සියයට සියක් නොමැති වුණත් මට හැකි උපරිමයෙන්ම රන් මැණිකා චරිතයට සාධාරණයක් කළා කියලා හිතනවා. සමනල සංධ්වනිය චිත්‍රපටයේ චරිතයටත් වඩා හොඳින් මම මහරජ ගැමුණු චිත්‍රපටයේ රන් මැණිකා චරිතය ඉදිරිපත් කළා කියලා හිතනවා. යම් හෙයකින් මම රන් මැණිකා චරිතය හොඳට නිරූපණය කළේ නැත්නම් ජයන්ත සර් මට ඒ බව කෙළින්ම කියනවා. නමුත්, ඔහු මගේ රඟපෑම් ගැන ගොඩක් සතුටු වුණා. ඔහුගේ සතුටුවීම හරහා මට තේරුම් ගියා මේ චරිතයට මම සාධාරණයක් කළා කියලා.


  •  Q මහරජ ගැමුණු චිත්‍රපටයෙන් පස්සෙ බුද්ධිනීව අපිට ආයෙත් දකින්න ලැබෙන්නේ ?

චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය බොහෝමයක් සඳහා ආරාධනා ලැබුණා. නමුත්, ගෙදර අය කැමති නැහැ මම රඟපානවාට. ගෙදර අය වගේම මගෙත් ලොකු ආසාවක් නැහැ රංගනය පැත්තට යොමුවෙන්න. දැනට මම ගුරු උපාධිය හදාරනවා. තවත් අවුරුදු දෙක තුනකින් ගුරුවරියක් වෙන්න තමයි මගේ අදහස.


  • Q අද බොහෝ පිරිසක් කලා කටයුතුවලට එකතු වෙන්න උත්සාහ කරන අවධියක බුද්ධිනී ක්ෂේත්‍රයෙන් ඉවත්වෙන්න සූදානම් වෙනවා. ඇයි ඒ?

ඇත්තටම, රංගනය කියන්නෙ මගේ විනෝදාංශයක්. පළමු චිත්‍රපටයෙන්ම මට හොඳම නැගී එන නිළිය ලෙස සම්මාන දිනාගන්න අවස්ථාව ලැබුණා. ඉතින් එතැනින් එහා මට මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න නැහැ. අනික මම රංගනය පිළිබඳව කිසිවක් හදාරපු කෙනෙක් නෙවෙයි. පාසල් යන කාලෙ නම් නර්තනය හදාරලා තියෙනවා. සමහර විට පිරිසක් ඉදිරියේ නොබියව යමක් ඉදිරිපත් කරන්න හැකියාව ලැෙබන්න ඇත්තේ ඒ නිසා කියලා හිතෙනවා. බලමු ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් මම ඒ නිර්මාණයට බොහෝවිට එකතු වේවි.


  • Q කොහොමද ඔබට ජයන්ත චන්ද්‍රසිරි මුණගැහෙන්නේ?

අපේ සිංහල මිස් තමයි ජයන්ත චන්ද්‍රසිරි සර්ගේ බිරිඳ. ඇය තමයි මට මුලින්ම සමනල සංධ්වනිය චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කළේ. ජයන්ත සර්වත් මම හොඳින්ම දන්නවා.සමනල සංධ්වනිය චිත්‍රපටයෙන් පස්සෙ නැවතත් මට සිංහල මිස් කතා කරලා කිව්වා මහරජ ගැමුණු චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කියලා. මුලදි මම අකමැත්ත පළකළා. මොකද, චිත්‍රපටයේ විදිහට ඇඟ පේන්න ඇඳුම් අඳින්න සිද්ධ වෙන නිසා. පස්සෙ මිස් මට ඒ සම්බන්ධව කරුණු පහදලා දුන්නම තමයි මම මහරජ ගැමුණු චිත්‍රපටයට සම්බන්ධ වුණේ. බොහෝ විට ජයන්ත සර් ඉදිරියේදී මට ඔහුගේ නිර්මාණයකට ආරාධනා කළොත් ඉතා සතුටින් ඒ නිර්මාණයට එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා.


  • Q මහරජ ගැමුණු චිත්‍රපටයට ඔබ සමගින් විශාල නළුනිළි පිරිසක් රංගනයෙන් දායක වුණා. කොහොමද ලැබුණ අත්දැකිම්?

මා සමග ගොඩක් දර්ශනවලදි රඟපෑවේ රෙබෙකා නිර්මලී මහත්මිය. නමුත්, අවාසනාවකට මෙන් ඇය මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නට පෙර අප අතරින් සමුගත්තා.  චිත්‍රපටය නරඹනකොට මම ගොඩක් කනගාටු වුණා ඇගේ වියෝව ගැන. චිත්‍රපටයේ බොහෝ දර්ශනවලදි ඇය මට රංගනය සම්බන්ධව කියාදුන්නා. ඒ වගේම උද්දික ප්‍රේමරත්න, අරුණි රාජපක්ෂ හා දිමුතු චින්තක යන පිරිස මට ගොඩක් උදව් කළා රංගනය පැත්ත දියුණු කරගන්න. 


-බුද්ධීක සේනාධීර.

0 comments: