ඇහි පිහාටු අඩු යුවතියන්ට.


ගැහැනු ළමයි ලස්සන වෙන්න එක එක විදියේ ෆැෂන් කරන එක සාමාන්‍ය දෙයක්. මීට අවුරුදු දහයකට විතර කලින් ඇඳුම් පැලඳුම්වලින් විතරක් එක එක ෆැෂන් කරපු ගැහැනු ළමයි දැන් ශරීරාංගවලටත් ෆැෂන් කරනවා. ඒ කියන්නෙ හිසකෙස්, දෙතොල්, නියපොතු, ඇහි බැම, ඇහි පිහාටු වගේ දේවලිනුත් තමන්ගේ ලස්සන තව තවත් මතුකර ගන්න උත්සාහ කරනවා. අයි ලෑෂස්, එහෙමත් නැත්නම් ඇහි පිහාටුවලින් කරන්න පුළුවන් ෆැෂන් මොනවද?

අයි ලෑෂස් පාවිච්චි කරන්න ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නෙ ඇහි පිහාටු අඩුවෙන් පිහිටන අයට. සමහර තරුණියන්ට ඇහි පිහාටු පිහිටලා තිබුණත් ඒවා පිහිටලා තියෙන්නෙ නොපෙනෙන තරම් දිගින් අඩුව. ඉතින් එහෙම අයට පුළුවන් කෘත්‍රිම ඇහි පිහාටු පාවිච්චි කරලා ඇහි පිහාටු දිගින් වැඩි කරලා පෙන්වන්න. අපේ රටේ නාගරික තරුණියන් අයි ලෑෂස් කරන්නෙ ෆැෂන් එකක් විදියට. ගොඩක් වෙලාවට විවාහ මංගල්‍ය වගේ විශේෂ උත්සව අවස්ථාවලට විතරයි. නමුත් වෙනත් රටවල විශේෂයෙන්ම තායිලන්තය, හොංකොං, ජපානය වගේ රටවල තරුණියන් පුරුද්දක් විදියට උදේට අයි ලෑෂස් පලඳිනවා. හරියටම අපි උදේ නැඟිටලා මූණ සෝදලා කොණ්ඩෙ පීරනවා වගේ.

අයි ලෑෂස් වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි කෘත්‍රිම කෙඳි වර්ගවලින් නිපදවන අයි ලෑෂස්. මේවා ඇසේ පියනට උඩින් අලවන්න පුළුවන් වෙන්නයි හදලා තියෙන්නේ. ඒ වෙනුවේ සමට හානිකර නොවන මැලියම් වර්ග නිපදවලා තියෙනවා. අලවන කොට මැලියම් ආලේප කරන්න ඕනෙ ඇහේ පිහාටු උඩ නෙවෙයි. කෘත්‍රිම අයි ලෑෂ් උඩ. අනිත් වර්ගය තමයි ස්වාභාවික ඇහි පිහාටුවලින්ම හදන අයි ලෑෂස්. ඒවා කෘත්‍රිම කෙඳිවලින් හදන ඒවලට වඩා ටිකක් මිලෙන් වැඩියි. අනිත් එක තමන්ගෙ මුහුණෙ හැඩයට අනුවයි අයි ලෑෂස් තෝරගන්න ඔබ දැනුම්වත් වෙන්න ඕනෙ. ඒ කියන්නෙ අයි ලෑෂස් විවිධ හැඩයන්වලින් නිපද වෙනවා. කවාකාර, ඉලිප්සාකාර, කෝණාකාර කියන හැඩයන්ගෙන් තමන්ගෙ ඇස්වලට මුහුණට ගැළපෙන්නෙ මොකක්ද කියන එක ගැන අවබෝධයක් තබා ගැනීම වැදගත් වෙනවා.

උඩු ඇසි පියවලට වගේම යටි ඇසි පියවලටත් පලඳින්න වෙන විදියෙ අයි ලෑෂස් තියෙනවා. ඒ වගේම මේ වෙනකොට හිසකෙස් ස්ථිරව සිටුවනවා වගේ ඇහි පිහාටු ඇස් පියන උඩ ස්ථිරව සිටුවන්නත් පුළුවන්. ඒක බොහොම සුළු ශල්‍යකර්මයකින් කරන දෙයක්. ඇස්වලට කිසිම හානියක් නොවෙන විදියට ඒක කරන්න පුළුවන්. හැබැයි ෆැන්ටසි ඇයි ලෑෂ් පාවිච්චි කරනවා නම් ඒවා ඇසි පියන මත ස්ථිරව සිටුවන්නෙ නැහැ. ෆැන්ටසි අයි ලෑෂ් කියන්නෙ ස්වභාවික පෙනුමෙන් එහාට ගිය විවිධ වර්ණ සහිත හෝ විවිධ රටා සහිත ඇහි පිහාටුවලට. ඒවා පලඳින්නෙ ෆැෂන් ෂෝවලට විතරයි. ඉතින් කොහොම වුණත් අයි ලෑෂස් පැලඳුවට පස්සෙ ඇස්වලට වගේම මුහුණටත් පුදුමාකාර ආකර්ෂණීය බවක් එකතු වෙනවා කියන එක නම් කියන්නම ඕනෙ.


දුලංජලී මුතුවාඩිගේ
උපදෙස් : ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී හසිනි ද සිල්වා


0 comments: