අධ්‍යක්‍ෂවරුන්ගෙන් බලපෑම් ආවද? - නිලුක්ෂි පිළිතුරු දෙයි.


 



  • වැඩිය නොදැක්කට නිලුක්ෂි කාර්යබහුලයි වගේ?

මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. අලුතින් පටන් ගත් ටෙලි ඩ්‍රාමා කිහිපයක වැඩ.


  • ඒ කියන්නේ ඒ තරමටම නිලුක්ෂිව ටෙලි නාට්‍ය කලාවට ඕන වෙලා?

රංගනය කියන්නේ උපතින්ම එන්න ඕන දෙයක්. අපි හරියට දෙයක් ඉගෙනගෙන ආවොත් අපිට මේ ක්‍ෂේත්‍රයේ දීර්ඝ ගමනක් යන්න පුළුවන්.


  • ඒ දීර්ඝ ගමන යනකොට කැපිලි කෙටිලි නම් අඩුවක් නැතිව ඇති?

මෙහෙමයි, කොයිතරම් කැපිලි කෙටිලි ආවත් අපි දක්‍ෂ නම් අපි හරි දේ හරියට කරනව නම් අපිව නවත්තන්න කාටවත් බෑ. මම හරියට මගේ ජොබ් එක කරනව නම් කවුරු කැපුවත් මම ස්ථාවරයි. මට බලපෑම් කරන්න බෑ. මම මමනේ. කැපිලි කෙටිලි වෙන අයට ඇති. නමුත් මට නම් නැහැ.


  • ඒත් ප්‍රවීණයො ආධුනිකයන්ට අත දෙන්න කැමැති නැහැලු නේ?

ඒක බොරුවක්. මගේ මුල්ම ටෙලි ඩ්‍රාමා එකේ ඉඳන්ම මට වැඩිපුරම වැඩ කරන්න ලැබුණේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ක. අද මාව මෙතැනට ගෙනාවේ ප්‍රවීණයෝ. මම ප්‍රවීණයන්ගෙන් දැනුම උකහා ගත් නිසා තමයි අද මම මෙතැන ඉන්නේ. ප්‍රවීණයෝ කවදාවත් මට නම් ලෝබකමින් ඉගැන්නුවේ නෑ. මම පාසල් කාලෙ ඉඳන් නර්තනය, රංගනය කළත් මේ ක්‍ෂේතේ‍ර හරි අවබෝධය මට දුන්නේ ප්‍රවීණයෝ.


  • ඔය කියන්නේ බොහෝ දෙනෙක් ඉන්න මතය ඔබ ප්‍රතික්‍ෂේප කරනවා කියලද?

ඔව්. දර්ශන තලේ ඉන්න විදිය පවා මම ඉගෙන ගත්තෙ ප්‍රවීණයන්ගෙන්. මුලින් අපි ප්‍රවීණයන්ට ගරු කරන්න ඕනෑ. ඊට පස්සෙයි අපිට පසුව ක්‍ෂේත්‍රයට එන අයත් අපට පෙරළා ගරු කරන්නේ. ප්‍රවීණයන්ට ‍ෙදාස් කියනවාට වඩා ඔවුන්ගේ උදවුවෙන් අපේ අඩුපාඩු හදා ගැනීමයි වටින්නේ.


  • ගමෙන් එන ගොඩක් නිළියන් ටික කලක් යද්දී සංකර වෙනවා. නිලුක්ෂි කියන්නෙත් එහෙම සංකර වුණ නිළියක්ද?

කවදාවත් නෑ. මගේ පෙනුම හා හැසිරීම එදා වගේම අදත් එහෙමයි. නූතන පරිසරයටත් ඔබින විදියට මම හැදිච්ච කෙල්ලෙක්ගෙ චරිතවලට පණ පොවනවා. මගේ ඇතුළාන්තෙන් මම අරගෙන ආව හැසිරීම් රටාව මම මගේ රංගනයටත් උකහා ගන්නවා.


  • සංකර චරිතයක් භාරගන්න වුණොත් බටහිර විදියට කොටට අඳින්නත් වෙනවනෙ?

මම කවදාවත් ඒ මතය පිළිගන්නෑ. සංකර චරිතයක් මවන්න ඕන ඇඳුම් පැලඳුම් කොටට ඇදීමෙන් නෙවේ. කාර් එකෙන් බැස්සට සන්ග්ලාස් දැම්මට සංකර රංගනයක් නැතිනම් ඇඳුම් කොටට ඇන්දටත් වැඩක් නෑ. සංකර චරිතයකට පණ පොවන්න ඇඳුම් කොටට අඳින්න ඕන කියන මතයට මම විරුද්ධයි. ගොඩක් අය මවා ගත්ත විදිය ඒක. ඇඳුම් කොටට අඳින්නෙ නැතිව සන්ග්ලාස් දාන්නෙ නැතිව සංකර නිළියකගෙ චරිතයකට පණ පොවන්න මට පුළුවන්. ඒ ගැන මං සතුටුයි.


  • ඔබ ටෙලි නාට්‍යයක චරිතයක් තෝරා ගැනීමේදී තෝරා බේරා ගැනීම් කරනවද?

තෝරා බේරා ගැනීම් කරනවා. නමුත් පුදුමය කියන්නේ මට ලැබුණු හැම නිර්මාණයකටම මට ආරාධනා ලැබුණෙ මට කරන්න පුළුවන් චරිත. ප්‍රතික්‍ෂේප කළා නම් ඒ නිර්මාණ එකක් දෙකක් විතරයි. මගේ ශෛලිය හඳුනාගත්ත, මට කරන්න පුළුවන් දේ වටහාගත්ත නිර්මාණකරුවන් තමයි මේ වන තෙක් නිර්මාණවලදි මට මුණගැහුණෙ.


  • අධ්‍යක්‍ෂවරුන්ගෙන් නිළියන්ට බලපෑම් වෙනවා කියලා චෝදනාවක් තියෙනවා. ඔබ මොකද ඒ ගැන කියන්නේ?

එය මම විශ්වාස කරන්නෙ නැහැ. මමත් ගැහැනියක්. මම දරුවෙක් ඉන්න මවක්. විවාහයට පෙර තරුණ අවධියේත් මට නම් එහෙම බලපෑම් ආවෙ නැහැ. කෙනෙක්ව හැසිරීමෙන්, කතාවෙන් තේරුම් අරගෙනයි පිරිමින්ගෙ බලපෑම් එනව නම් එන්නේ. තනි අතින් අත්පුඩි ගහන්නත් බෑ. අපි ගැහැනු විදියට දැනගන්න ඕන ගැහැනියක් කියන්නේ අම්ම කෙනෙක්, සහෝදරියක්, ලොවට ජීවයක් දෙන උත්තරීතර චරිතයක්. ඒ උපතින්ම එන ගරුත්වය රැක ගත්තා නම් කිසිම බාහිර බලපෑමක් නෑ.


  • ඒත් සමහර රංගන ශිල්පිනියන් ඔය චෝදනාව කරනවනෙ?

අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නවා පිරිමින්ට බනින්න. අපි ගෑනු ලෙස සංවර විදියට අඳිනව නම් බලපෑම් නෑ. හැසිරීම තැන්පත් නම් බලපෑම් නෑ. ඔවුන් කතා බහෙන් පවා තේරුම් ගත් පසුවයි බලපෑම් කරන්නේ. මම මගේ මහත්තය එක්ක පාරෙ යද්දි ඇඳුම කොටට ඇදගත් ගැහැනු ළමයෙක් යනව නම් මහත්තය ඒ දිහා බැලුවොත් මම මහත්තයගෙ බෙල්ල මිරිකල හරියන්නෑ. ගැහැනු අපි දැනගන්න ඕන හැදිච්ච සමාජයක් බිහි කරන්න නම් හැදිච්චකමින් ඉන්න.


  • ගොඩක් කලාකරුවන් කලාව සහ පවුල් ජීවිතය සමබර කරගන්නෙ නැතිව පවුල් ජීවිතය අවුල් කරගන්නවා. ඔබ කොහොමද කලාව සහ පවුල් ජීවිතය සමබර කරගන්නේ?

මම මගේ මහත්තයව තේරුම් අරගෙන නම් මගේ මහත්තයා මාව තේරුම් අරගෙන නම් අපිට ගැටුමක් නෑ. බාහිර ප්‍රශ්නයක් නෑ. මම රඟපෑම්වලදි පිරිමි ළමයි 30ක් 40ක් අතරෙ වැඩ කරන අවස්ථා තියෙනවා. මගේ මහත්තයට මාව විශ්වාස නම් පිරිමි දාහක් මැද මම රඟපෑවත් එයාට බයක් නෑ. මම ඒ විශ්වාසය රකිනවා. මම මගේ දුව අප අතරට ආවම මේ ක්‍ෂේත්‍රයෙන් ඉවත් වෙන්න හැදුවා. ඒ වෙලාවෙ මගේ මහත්තය කීවා නෑ නිලූ ඔයා රඟපාන්න කියලා. අන්න ඒ විශ්වාසයයි වටින්නේ.


  • ඇතැම් කාන්තාවන් මුදල් උපයනකොට කාන්තා ආධිපත්‍ය නිරායාසයෙන්ම එනවා. ඔබත් ඒ වගේ කෙනෙක්ද?

අනේ නෑ. මේක පීතෘ මූලික සමාජයක්. සමහර මාසවල මම මහත්තයට වඩා මුදල් උපයනවා. නමුත් මම වියදම් කරන හැටි මහත්තයගෙන් තමයි අහන්නේ. සමාජෙ ගත්තොත් ඇතැම් කාන්තාවන් ලොකු තැනක හිටියොත් ඒ පවුල් ජීවිතේ අඩාලයි. නමුත් මම ජීවත් වෙන්නෙ පිරිමියා මූලික කරගත් ප්‍රතිපත්තියක.


  • අධ්‍යක්‍ෂණයට එන්න බලාපොරොත්තුවක් නැද්ද?

අධ්‍යක්‍ෂණයට එන්න මගේ ජීවිත කාලය පුරාවටම බලාපොරොත්තුවක් නෑ. රංගනය හරියට කරගෙන ඉදිරි ගමන සාර්ථකව යනවා.


  • නිලුක්ෂි ප්‍රනාන්දුව රසික රසිකාවියන් අද දකින්නේ කොයි නිර්මාණ හරහාද?

ස්වාධීන රූපවාහිනියේ සති අන්තයේ විකාශය වන "මිණි මහිම" සිරස ටී.වී. විකාශය වන "හිරු සඳුට ආදරෙයි", ස්වර්ණවාහිනියේ විකාශය වන "මීදුමෙන් එහා", දෙරණ නාළිකාවෙ විකාශනය වන "නීල පලිඟු දිය" ටෙලි ඩ්‍රාමා තමයි මේ දවස්වල විකාශය වන්නේ. ඒ වගේම ඉදිරියේදී තව අලුත් නිර්මාණ තුනකුත් එනවා.


සමිත් මධුරංග


0 comments: