මේ වගේ ආදරයක් බලන්න අපිට පින නැද්ද? - Movie Review


ලංකාවේ සිනමාශාලාවන්ගෙන් පිටතට පැමිණෙන්නන් කොට්ඨාශ දෙකකි. 

එක වර්ගයක්, චිත්‍රපටියේ නළුවාගේ කඩවසම්කම, නිළියගේ ඇඳුම් ආයිත්තම් ගැන කතා කරමින් ශාලාවෙන් පිටතට පැමිණ රෑට කන්නේ කොහෙන්දැයි සිතමින් වාහනයට නැග පිටව යන පිරිසයි.


අනෙක් වර්ගය අතිශයින් අත්භුතය. කිසිදු අදහසක් පල නොකර ඉබේටම ශාලාවෙන් එළියට අවුත්, ඉබේටම පඩිපෙළෙන් බැස ඉබේම වාහනයට ගොඩ වී ඔහේ ගෙදර යන පිරිසයි. (උපතින්ම අත්භූතයින් නොවන බව කරුණාවෙන් සලකන්න.) 


පොදු අපට සිතෙන්නේ පළමු කොටස මාර විදිහට 'movie එක enjoy' කර ඇති බවය. කොහොමද film එක කියා ඇසු විට 'හොඳයි පොඩි change එකකට නේ ඉතින්' කියා කියන්නේ මොවුන් ය.


දෙවැනි කොට්ඨාශය මේ ප්‍රශ්නය හමුවේ 'හිරවේ'. ඔවුන්ට චිත්‍රපටියෙන් පසු කිසිවක් සිදු නොවුණා සේ හැසිරෙන්නට නොහැක. කඳුළුවලින් හෝ හදවතින් ඔවුන් හැඬු බව ඔවුන් පිළිගනී. නොඑසේ නම් සිනහවෙන් හෝ ආත්මයෙන් සතුටු වූ බව ඔවුන් පිළිගනී.


යම් චිත්‍රපටියක් සතුව දෙවැනි කොට්ඨාශයේ ප්‍රේක්ෂක පිරිසක් බිහිකිරීමේ හැකියාවක් පවතී නම් එය 'සාර්ථකය'. මේ වගේ ආදරයක් චිත්‍රපටිය තුළ පළමු අර්ධයේ එය සාමාන්‍ය සිද්ධි දාමයක් යැයි සිතෙන්නට ගත්තද, දෙවන අර්ධය ප්‍රේක්ෂකයාගේ මතකය, වේදනාවන් හෝ සංවේදනාවන් පාරයි.

සෑම ආදරයකටම happily ever after නැති විය හැක. අනපේක්ෂිතව ආදරයක ඉම කඳුළු කෙළවර වේදනාවේ ඉවුරක නතර විය හැක. 


තිරයේ සෙරීනාගේත් රොෂාන්ගේත් 'මේ වගේ ආදරයක්' දකින්නෝ කඳුළු සලන්නේ සෙරීනා හිටි හැටියේ ජිවීතයෙන් සමුගන්න නිසා ම නොව. නමුත් ඉතාම අංශු මාත්‍රයික  සිද්ධි අතරේ ඇති සියුම් සරල ආදරයක් අහිමි වී ඇති නිසා හෝ හිමි වී නැති නිසාය. නොහොත් වේදනාවට හෝ ඊරිසියාවටය.


ලංකාවේ චිත්‍රපටවලට බැන බැන සිටීමේ පලක් නැත. මන්ද සියල්ලෝම එක වගේ නොවන නිසා. ආදරයේ අපරිමිත කැපකිරීම් පරිත්‍යාග හා හැගීම් ඉඳහිට හෝ සිංහලෙන් බලන්නට අපට පුරුද්දක් නැත. 


මේ කතාවම හින්දියෙන් තනා, හින්දි නළු නිලියන් යොදා, ඉඳහිට දෑත් දෙපසට විහිදා සින්දුවක් දෙකක් කීව නම් මැතිවරණ ප්‍රතිඵල අතරේ පැය 12ක්  Happy New Year බැලුව සේ බලන්නට තරම්, අලුත් වුවත් අපූරු සුසංයෝගයක් වූ දිනක්ෂි - අනුජ් යථාර්ථය මේ වගේ ආදරයක් ඔස්සේ රඟපාද්දී 'ලංකාවේ බුද්ධිමත් ප්‍රේක්ෂකාගාරයට' පින නැතුවාද?


ලංකාවේ බහුතරයක් ලියවෙන්නේ විචාරයන් නොව විවේචනයන් හෝ අමු වන්දිභට්ට වර්ණනාවන්ය. හොඳ නරක ගුණාත්මකව විමසා බැලීම අමතක කොට දර්ශනයන් විවේචනය කරයි. විචාරයන්  නිසා අදාල කලාකෘතිය බැලීමට කුතුහලයක් හා උනන්දුවක් ඇති විය යුතුය. දැන් කල යුතුව ඇත්තේ ලංකා ප්‍රේක්ෂකයින් විවේචනය කරමින් කලාකෘති විචාරය කිරීමයි.   


කතාව, අධ්‍යක්ෂණය, නිෂ්පාදනයේ අඩුව ගැන මහා කලකිරීමෙන් කියවීමට වඩා ප්‍රේක්ෂකයාගේ රසාස්වාදයේ හීනවීම, රහක් විඳින්නට පිනක් නැති කම ලංකාවේ සිනමා කර්මාන්තයේ අභාග්‍ය වී ඇත. 'මේ වගේ ආදරයක්' අපේ සිනමා ශාලාවලින් ගැලවී යන්නේ enjoy කරන්නට වෙන කරන්නට දෙයක් නැති නිසා film 'දකින' උදවිය වැඩියෙනුත්, ජීවිතය කියවන්නට හිත සැහැල්ලු කරගන්නට සිනමාව 'විඳින්නවුන්' අඩුවෙමිනුත් යන නිසාය.



- අනුෂි හක්මනගේ 

0 comments: