ආවේ නාට්‍ය ලියන්න, ඒත් දැන් රඟපානවා.


‘‘අපි අහලා නැති වුණත්, උන් හොඳ මාබල් ලෝඞ් එකක් හොයාගෙන තියෙනවා. ඒකට අද රාජ්‍ය නායකයන් පුද්ගලිකව සපෝට් කරනවා’’

මේ විදියට කියන්නෙ කවුද දන්නවද? තිලක්‍ෂිනී රත්නායකයි. 


  • මේ තිලක්‍ෂිනී හෙවත් යාළුවෝ ආදරයට අමතන ‘තිලා’ කවුද?

මේ දිනවල මෙයාට හැමෝම කියන්නෙ ‘‘දුටු තැන අල්ලනු’ කියලයි.

ප‍්‍රවීන රංගන හා නාට්‍යවේදීනි කෞෂල්‍යා ප‍්‍රනාන්දුගේ අලූත්ම වේදිකා නාට්‍ය වන ‘දුටුතැන අල්ලනු’ එහි ප‍්‍රධාන භූමිකාවකට ‘තිලක්‍ෂිනී’’ එක්ව සිටීම ඊට හේතුවයි.

2011 දී යෞවන නාට්‍ය සම්මාන උළෙලේදී කෙටි නාට්‍ය අංශයේ හොඳම නිළිය වූ ඇය එවර රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මාන ලබා ගත්තා. 2013 දීත් එලෙසින් ඇය සම්මාන ලබා තිබෙනවා.2014 දීත් රාජ්‍ය නාට්‍ය උළෙලේදී කෙටි නාට්‍ය අංශයේ හොඳම නිළිය වූවේත් ඇයයි. මේ විදියට කෙටි නාට්‍ය හරහා රංගනයෙන් දීර්ඝ ගමනක් යන්න හදන මේ තිලක්‍ෂිනී එක්ක අපි කතා බහකට එක්වෙමු. 


  •  තිලක්‍ෂිණී ඒ නාමයෙහි තේරුම දන්නවද?

අනිත්‍යයි දුකයි, අනාත්මයි තමයි. 


  •  ගම කොහෙද?

වැඩි ඈතක නැහැ. කොළඹ කොටහේන. 


  •  ඉගෙන ගත්තෙ?

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්.


  • වයසත් කියමු නේද?

අවුරුදු 25 යි. 


  •  තිලක්‍ෂිනී ඇයි ඔබ කෙටිනාට්‍යවල විතරක්ම රඟපාන්නෙ?

කෙටි නාට්‍ය කියාම විශේෂත්වයක් නැහැ. වේදිකාවේ රංගනයට අමතරව ඇඳුම් නිර්මාණ අංශයෙනුත් දායක වෙනවා.


  • වෘත්තියෙන්?

රංගනයම තමයි. රංගනයට එක්වූ පසුව සෞන්දර්යය සරසවියෙන් නාට්‍ය හා රංග කලාව ගැන ඩිප්ලෝමා කළා. පසුව කෞෂල්‍යා ප‍්‍රනාන්දු මහත්මිය යටතේ ‘ගමරාල දිව්‍යලෝකෙට ගිහින්’, හිමකුමරිය, රන්මලී ඇතුළු සෝමලතා සුබසිංහ මහත්මියගේ නාට්‍ය නිර්මාණයන්හි රඟපෑමට එක් වුණා.


  • දැන් ‘‘දුටු තැන අල්ලනු’ එහෙම නේද?

‘‘බර්ටෝල් බ්‍රෙෂ්ට්’’ගෙ පෙති ඔපෙරා නාට්‍යයට අදාළව නයිජීරියානු පිටපතකට අනුව නිර්මාණය වුවත් මේ නාට්‍යය ශ්‍රී ලාංකීය නාට්‍ය රසිකයින්ට මෙය අපූරු අත්දැකීමක් ගෙන දේවි. 


  • වේදිකා නාට්‍ය නිර්මාණවල විතරද රඟපාන්නෙ?

ප‍්‍රසන්න ජයකොඩිගෙ ‘‘අර්ධ වෘතාන්ත චිත‍්‍රපටයක රඟපෑවා ‘‘උසාවිය නිහඬයි’’ කියලා. ඉන්පසු අශෝක හඳගමගෙ අලූත්ම සිනමා නිර්මාණය වන ‘‘ඇයට හඬන්න දෙන්න’’ (Luts her cry) චිත‍්‍රපටයේත් රඟපෑවා. 


  • ඇයි මේ රඟපෑම් අංශයම තෝරා ගත්තෙ?

ඇත්තම කිව්වොත් පාසලේ දී නාට්‍යවලට එතරම් දායකත්වයක් ලබා දුන්නෙ නැහැ. නමුත් ප‍්‍රසිද්ධ වේදිකාවට එක්වුණේ නාට්‍ය ලියන්න හිතාගෙනයි. මුල්ම කෙටි නාට්‍යයට සම්මානයක් ලැබුණාම දිගටම නාට්‍ය ක්ෂේත‍්‍රයේ වැඩ කරන්න වගේම ඒ අංශයෙන් ඉගෙන ගන්න හිතුවා. ඒ අතරේදී ආරාධනා ලැබෙන විදියට ටෙලිනාට්‍යවල කෙටි චරිතවලට එක්වුණා.


  • දීර්ඝ ටෙලිනාට්‍ය සඳහා ඇරයුම් ලැබුණොත් බාර ගන්නවද?

ඒ ගැන ප‍්‍රශ්නයක් නැහැ. නාට්‍ය හෝ නිර්මාණ වර්ග කිරීමක් නැහැ. චරිතය හොඳනම් බාරගන්නවා. කෙටි චිත‍්‍රපට කීපයක් රඟපෑවා. මෑතක දී නිමා වූ කොළඹ ජාත්‍යන්තර උළෙලේදී ඒවා ප‍්‍රදර්ශනය වුණා. 


  • පවුලේ විස්තර කිව්වොත්?

පවුලේ එකම දරුවා මමයි. 


  • ‘‘දුටුගැන අල්ලනු’’ කවදද මංගල දර්ශනය?

මෙම 12 සහ 13 කොළඹ ලයනල් වෙන්ඞ්ට් රංග ශාලාවේ දී වේදිකාගත වෙනවා. සෝමලතා සුබසිංහ මහත්මියගේ play house පදනම තමයි සංවිධානය කරන්නෙ. ප‍්‍රවීන රංග හා නාට්‍යවේදිනී කෞෂල්‍යා ප‍්‍රනාන්දුගේ අපූරු නිර්මාණයක් ලෙස මෙය නම් කරන්න පුළුවනි.

-Lankadeepa.lk





0 comments: