තනියම makeup කර ගැනීමේදී සිදුවන වැරැදීම්...



ගෙදරදී මේක්අප් කරගන්න ඕනෙම කෙනෙක් කැමැතියි. සැලොන් යන්න ගියාම කාලය විතරක් නෙවෙයි සල්ලිත් වියදම් වෙනවා. ඒත් ගෙදරදි කරන මේක්අප් එක සැලොන් එකේ කරන මේක්අප් එක තරම් නීට් නොවුණොත් ඒකත් ප්‍රශ්නයක්. ඉතින් මේ කියලා දෙන්න යන්නෙ ගෙදරදි මේක්අප් එකක් කරද්දි වෙන්න පුළුවන් අතපසුවීම් කීපයක් ගැනයි.

1. මස්කාරා පාවිච්චි කරද්දී වෝටර් පෘෆ් එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නෙ දාදියට හෝ කඳුළුවලට දියවෙන්නෙ නැති එකක්. සාමාන්‍යයෙන් තත්ත්වයෙන් බාල මස්කාරා ගාලා ටිකක් වෙලා යද්දි දාදිය දැම්මොත් ඇස් දෙක යටින් කළු පාටට මස්කාරා ගලන්න පටන් ගන්නවා. ඒ නිසා දියවෙන්නෙ නැති එකක් පාවිච්චි කරන්න. හොඳ තත්ත්වයේ මස්කාරා සෝදාහරින්න නම් වතුරින් තෙමලා ෆේස් වොෂ් එකක් දාලා සෝදන්නම ඕනෙ. මිලෙන් ටිකක් වැඩි වුණත් හොඳ මස්කාරා ඕනෙ තරම් වෙළෙඳපොළෙන් මිලදී ගන්න පුළුවන්.


2. ඔබේ මේක්අප් බ්‍රෂ් සෙට් එක ඔබ කොච්චර කාලෙකට සැරයක් පිරිසුදු කරනවාද? සමහර විට ගත්ත දවසෙ ඉ¼දලා පිරිසුදු කරලා නැතිව ඇති. සාමාන්‍යයෙන් මේක්අප් බ්‍රෂ් සෙට් එක දිනපතාම පාවිච්චි කරනවා නම් සතියකට වතාවක්වත් පිරිසුදු කරන්න ඕනෙ. සතියකට දවස් දෙකක් තුනක් විතරක් පාවිච්චි කරනවා නම් මාසෙකට වතාවක්වත් පිරිසුදු කරන්න ඕනෙ. මේක්අප් බ්‍රෂ් පිරිසුදු කරනවා කියලා කියන්නේ සෝදලා දාන එක නෙවෙයි. වෙළෙඳපොළේ ඒ වෙනුවෙන්ම නිෂ්පාදනය කරපු පිරිසුදුකාරක දියර තියෙනවා. ඒවායේ මිල අධික නැහැ.


3. ඔබ ෆවුන්ඩේෂන් පාවිච්චි කරන කෙනෙක් නම් ෆවුන්ඩේෂන් එකේ වර්ණය ගළපන්න ඕනෙ මුහුණේ වර්ණයට නෙවෙයි පිටි අත්ලේ වර්ණයට. එහෙම නැති වුණොත් වෙන්නෙ මුහුණ ගොඩක් සුදු පාටට ලස්සනට පෙනෙන එක හා අත් අඳුරු පාටට පෙනෙන එක. ඒ නිසා මුහුණ ඕනෙවට වඩා සුදු වෙන්න ෆවුන්ඩේෂන් දාන්න එපා. පිටි අත්ලේ වර්ණයට ෆවුන්ඩේෂන්වල වර්ණය ගළපනවා කියන්නේ එක්තරා ආකාරයකට ඔබ දෙස බලන්නාව රැවටීමක් විදියටත් කියන්න පුළුවන්.


4. ෆවුන්ඩේෂන් ආලේප කරද්දි මුළු මුහුණේම ආලේප කරන්නෙ නැහැ. සාමාන්‍යයෙන් මුහුණේ ඇස් යට සහ නාසය උඩ ඉංග්‍රීසි ඊ අකුරේ හැඩයට ෆවුන්ඩේෂන් ආලේප කළොත් මුහුණේ පිරිපුන් බවක් පෙන්වනවා. නමුත් සමහර ගැහැනු ළමයි සුදු පාට වෙලා පෙනෙන්න කියලා ෆවුන්ඩේෂන් ගොඩක් මුළු මුහුණේම ආලේප කරනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා මතක තියාගන්න. ඒකෙන් වෙන්නේ ඔබ අනෙක් අයගේ සමච්චලයට ලක්වෙන එක විතරයි.


5. ක්‍යුටෙක්ස් ගාන අය ඒවා රිමූව් කරන්න කම්මැළි හිතුණාම තියෙන ක්‍යුටෙක්ස් එකට උඩින් නියපොතුවල පාට ක්‍යුටෙක්ස් එකක් ආලේප කරනවා. ඒකත් හොඳ පුරුදක් නෙවෙයි. සාමාන්‍යයෙන් ක්‍යුටෙක්ස් තට්ටු තට්ටු ආලේප කළාම නියපොතුවල ස්වාභාවික පැහැය නැති වෙලා අවපැහැ වෙන්න පුළුවන්. ඒ වගේම දීර්ඝකාලීනව ක්‍යුටෙක්ස් ගාගෙන ඉන්න එකත් හොඳ නැහැ. ඒ නිසා සති දෙකකට වතාවක්වත් පරණ ක්‍යුටෙක්ස් එක රිමූව් කරලා අලුතින් ආලේප කරන්න ඕනෙ.


6. ඔබ මේක්අප් එකක් දානකොට හොඳ තදට ආලෝකය එන ලයිට් එකක් පාවිච්චි කරනවා ඇති. ඒකත් වැරැදි පුරුද්දක්. සාමාන්‍යයෙන් මේක්අප් කරන්න හොඳම ලයිට් එක විදියට සලකන්නේ කහ පැහැ ලයිට් එක. එහෙමත් නැත්නම් ස්වාභාවික ආලෝකය. ඒ කියන්නේ සාලෙ හොඳට එළිය තියෙන අව්ව වැටෙන්නෙ නැති තැනක. එහෙමත් නැත්නම් ගහක් යට වගේ තැනක. සුදු ආලෝකය නම් මේක්අප් කරන්න හොඳම නැහැ කියලා ඒ සම්බන්ධ විශේෂඥ අය උපදෙස් දීලා තියෙනවා.



දුලංජලී මුතුවාඩිගේ


0 comments: