30න් පස්සෙ නොසලකාහරින සෞඛ්‍ය ගැටලු.


කාන්තාවන් තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන කොච්චර දුරට සැලකිලිමත් වෙන්න ඕනද කියන එක ගැන ඉන්දියානු වෛද්‍යවරියක වුණු අපර්ණා ජාස්වාල් සඳහන් කරලා තියෙනවා. වෛද්‍ය අපර්ණා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාන්තා සෞඛ්‍ය පිළිබඳ තානාපතිනියක්. ඇය මේ ගැන කියලා තියෙන කරුණුවලින් කීපයක් තමයි මේ.

1. පාදවල අපහසුතා නොසලකා හරින්න එපා
සාමාන්‍යයෙන් ඕනෑම කාන්තාවක් අවුරුදු 30 ඉක්මවන විට පාදවල, කොන්ද ප්‍රදේශයේ පුංචි අපහසුතා ඇති වෙන්න පටන් ගන්නවා. මේ අපහසුතා ගැන සලකා බලා අවශ්‍ය ප්‍රතිකාර කරන්නේ අවුරුදු 30 සීමාවේ ඉන්න තරුණියන්ගෙන් සියයට හතක් විතරයි. මේ නිසා අවුරුදු 35-40 විතර වෙද්දි පාද, කොන්ද, සන්ධි ප්‍රදේශවල දීර්ඝකාලීන අපහසුතා පවා ඇති වෙන්න පුළුවන්.

2. ආර්තව වේදනාවලට ප්‍රතිකාර ගන්න.
වර්තමානයේ තරුණියන් සාමාන්‍යයෙන් ආර්තව වේදනාවට කිසිම ප්‍රතිකාරයක් කරන්නේ නැහැ. දවසකින් දෙකකින් අඩු වෙනවා කියලා හිතාගෙන වේදනාව ඉවසගෙන ඉන්නවා. නමුත් ඒක ශරීර සෞඛ්‍යයට යහපත් දෙයක් නෙවෙයි. ආර්තව වේදනාව අතිශයින් වැඩි වීම වෙනත් අතුරු ආබාධවලට හේතුවක් වෙන්න පුළුවන්. මේ නිසා ආර්තව වේදනාවලට ප්‍රතිකාර කිරීම වැදගත්.

3. දත් ගැන සැලකිලිමත් වෙන්න
සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් දත් ගැන හිතන්න පටන් ගන්නේ දත් කැක්කුමක්, වේදනාවක් දැනෙන්න ගත්තොත් විතරයි. නමුත් මාස 6කට වතාවක් හෝ දත් ගැන හිතන්න ඕනෙ. ඒ කියන්නේ දන්ත වෛද්‍යවරයෙක් හමුවෙලා දත් පරීක්ෂා කර ගන්න ඕනෙ. එහෙම නොවුණොත් අවුරුදු 35ක් විතර යද්දි දත් නරක් වෙන්න හෝ විදුරුමස් රෝග ඇති වෙන්න ඉඩ තිබෙනවා.

4. හැමතිස්සෙම හිනාවෙන්න
දවස තිස්සේම හිනා වෙන එක ශරීර සෞඛ්‍යයට ඉතාම වැදගත්. ඒ කියන්නේ පිස්සු හැදිලා වගේ හිනා වෙවී ඉන්න එක නෙවෙයි. තරහා නොගෙන ඉන්න එක. අනිත් අයත් එක්ක සතුටින් ඉන්න පුළුවන් නම් මානසික සෞඛ්‍යය සුවපත් වෙනවා. තරහා ගැනීමෙන් ශරීරයට සිදු වෙන්න පුළුවන් ලොකුම හානිය තමයි අසාමාන්‍ය ආතතිය සහ රුධිර පීඩනය වැඩි වීම. ඒ නිසා හැම තිස්සේම හිනා වෙලා ඉන්න උත්සාහ කරන්න.

5. ගර්භණී කාලයේදී ව්‍යායාම කරන්න
ගර්භණී කාලය කියන්නේ ටිකක් අමාරු කාලයක්. නමුත් ඒ අමාරුව ගැන හිතන්නෙ නැතිව ව්‍යායාම කරනවා නම්, ඇවිදිනවා නම් දරු ප්‍රසූතිය ඉතාම පහසු කර ගන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍යසම්පන්න දරුවෙක් බිහි කරන්නත් පුළුවන්. ව්‍යායාම කරනවා වගේම හොඳ සමබල ආහාර වේලක් ලබා ගැනීමත් ඉතාම වැදගත්.

6. අවුරුදු 35න් පසු රුධිර පීඩනය ගැන සැලකිලිමත් වන්න
සාමාන්‍යයෙන් අවුරුදු 35 ඉක්මවනවා කියන්නේ පොඩි පොඩි අසනීප ඇති වෙන්න පටන් ගන්නවා කියන එකයි. ඒ නිසා ඒ වගේ අසනීප ගැන දැනුවත් වෙලා ඉන්න ඕනෙ. රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව වගේ අසනීප තත්ත්වයන් පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත්.

7. වතුර වැඩිපුර බොන්න
වතුර කියලා කියන්නේ අසනීප තත්ත්වයන් කීපයකටම හොඳ ඔසුවක්. ඒ වගේම ඕනෑම කෙනකුට කිසිම ආකාරයක අතුරු ආබාධයක් ඇති නොවන එකම දියරය තමයි ජලය. ඉතිං මේ නිසා වතුර බොන එක ශරීරයට ඉතාම හිතකරයි. වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ දවසකට වතුර ලීටර් දෙකක්වත් අවම වශයෙන් බොන්න කියලයි.

8. උදෑසන ආහාරය වෙලාවට ගන්න
ඔබට උදෑසන ආහාරය ඕනෑ තරම් මඟ හැරෙනවා ඇති. උදෑසන ආහාරය ගන්න ඕනෙ ඔබ අවදි වෙලා පැය බාගයක් හෝ විනාඩි 45ක් ඉක්ම යන්න කලිනුයි. රාත්‍රිය පුරා පැය 10කට අධික කාලයක් ඔබ ඉන්නෙ කුසගින්නෙන්. ඒ නිසා උදෑසන අවදි වූ ගමන්ම උදෑසන ආහාරය ගැනීම ඉතාම වැදගත් වෙනවා. එය සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ලොකු රුකුලක්.


- දුලංජලී මුතුවාඩිගේ 

0 comments: