ගමෙන් කොළඹ ඇවිත් අරන් යන 'ඒඩ්ස්'


අවුරුද්දක කාලයක් ඇතුළත ගාල්ලේ පනස් හතර දෙනෙක් දූෂණයට ලක්වී ඇති බවත් එයින් නවදෙනකුම ළාබාල දැරියන් බවත් පසුගියදා මට කියවන්නට ලැබුණු වාර්තාවකින් දැනගන්නට ලැබිණි. එහි සඳහන් වුණු ආකාරයට මෙය ගාල්ලට පමණක් සීමා වූ දෙයක් නොවේ. බොහෝ ගම්වල සැබෑ තත්ත්වය මෙයයි.

ගම්වල ශීඝ්‍රයෙන් මෙවැනි දූෂණ සිද්ධි ඉහළ නඟින බව හෙළිවී ඇත. ගම්වල පමණක් නොව නගරවලද මෙවැනි සිදුවීම් වැඩි වැඩියෙන් වාර්තා වන්නට පටන් ගෙන තිබේ. සමාජ සේවා නිලධාරියෙක් මා හට පැවැසූ පරිදි එසේ වීමට හේතු වී ඇත්තේ නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල රාත්‍රි සමාජශාලා ඇති වීමත් ඒවායෙහි සේවයට ගම්වල අහිංසක තරුණියන් ගෙන ඒමේ කූට ව්‍යාපාරයක් පවතින නිසා බවත්ය. මේ බොහෝ රාත්‍රි සමාජ ශාලාවල සිදුවනුයේ ගම්වල දුප්පත් කාන්තාවන් මුදලට විකිණීම බව ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

මේ වන විට ගම්වල සහ නගරවල පමණක් මේ ජාවාරම අන්තර්ජාතික මට්ටමට පත්වී ඇත. මා එසේ කියන්නේ කොළඹ නගරයේ ඇති පොලිසිය සොයා ගන්නා ගණිකා නිවාසවලින් විදේශ තරුණියන් විශාල වශයෙන් හසුවීම නිසාය. පෙර කී සමාජ සේවා නිලධාරියා මට පැවැසූ පරිදි මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ හොර රහසේ පවත්වාගෙන යන ගණිකා නිවාස ශීඝ්‍රයෙන් වැඩිවී ඇත. ඒවා බොහෝමයක් කරගෙන යන්නේ සම්බාහන මධ්‍යස්ථාන යන බෝඩ් ලෑල්ලට මුවාවීය. ඒවායෙහි විදේශීය තරුණියන් සමඟ අපේ රටේ ගම්බද තරුණියෝද සේවය කරති. ඒවායේ හිමිකරුවෝ ලක්ෂ ගණන් උපයති. ඔවුහු අලුත් ධනවතුන් බවට පත් වෙති. තමන්ගේ ව්‍යාපාරය ආරක්ෂිතව කරගෙන යෑමට ඔවුන් අවශ්‍ය වන්නේ මුදල් විසිකිරීම පමණය. ඔවුන්ගේ මුදල්වල බලයට ඒවා බොහෝ විට වැටලීම් කරන්නේ නැත.

ඒවා කෙසේ වෙතත් එම ස්ථානයන්හි සේවය කරන තරුණියන්ගේ ජීවිත කෙළවර වන්නේ ඛේදවාචකවලිනි. එය බොහෝ තරුණියන් යළි ගමට යන්නේ සමාජ රෝග වැලඳුණු පුද්ගලයන් ලෙසය. මෑතකදී කොළඹින් අල්ලා ගත් එවන් ගණිකා නිවාසයක සිටි විදේශීය තරුණියකට ඒඩ්ස් රෝගය වැලඳී තිබුණු බවද මාධ්‍ය වාර්තා කර තිබිණි. එයින් බලන කල මේ අය බරපතළ රෝග සමාජයේ අනෙක් පුද්ගලයන්ට පතුරුවා හරින අයය. බොහෝ අයගේ වැඩි අවධානයක් නැති නමුත් අපේ රට වැටී තිබෙන සැබෑ තත්ත්වයේ ස්වරූපය ඔය ආකාරය.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ වසරකට අපේ රටේ බාලවයස් ගැබිනියන් 24,000ක් වාර්තා වන බවය. ඒ අතරින් අති බහුතරයක් ගැබ් ගැනීමට සුදුසු වයස් සීමාවට පැමිණි අය නොවේ. ඔවුන් මේ නිසා විවිධ රෝගාබාධවලින් පෙළෙන බවත් උපදින්නට සිටින දරුවන්ගේ ජීවිත පවා අවදානමකට ලක් කර ඇති බවත් එහි වැඩිදුරටත් දැක්විණි. මේ තත්ත්වයන් නිසා ගැබිනියන් අතර සිය දිවි නසා ගැනීම් වැඩිවී ඇති බවද එහි දක්වා තිබිණි. ගර්භණී වීමට තරම් සුදුසු කායික වර්ධනයක් සිදු නොවී තිබීමත් ඔවුන්ගේ මානසික තත්ත්වය එවන් දෙයකට තවමත් සුදුසු නොවීමත් ආදී කාරණා නිසා මෙවන් තත්ත්වයන් ඇති වී ඇත. සුදුසු වයසට පෙර ගර්භණී වීමෙන් ඇති වන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව නිසි අවබෝධයක් එවන් සමාජ කාණ්ඩ වෙත ලබා දීමට වහ වහා පියවර ගත යුතුය. එසේ නොවුණහොත් මේ තත්ත්වය තවත් වර්ධනය වනු නෙආනුමානය. ලංකාවේ වසරකට සිදුවන ගබ්සා ප්‍රමාණය ලක්ෂයකට වැඩි බවත් මෙවන් ගැටලු ඒ සඳහා හේතු වී ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබිණි.

මේ කරුණු කාරණාවලට අමතරව අද අපේ රටේ මවුපියන් ප්‍රවේශමෙන් සිටිය යුත්තේ ගෙදර සිටින කුඩා දූ දරුවන් සහ තරුණ කාන්තාවන් ගැනය. ඔවුන් ප්‍රවේශම් විය යුත්තේ විශ්‍රාමිකයන්ගෙනි. 'නාකි විසේ ගෙටත් උසේ' යනුවෙන් ජනවහරේ ඇති කියමන සනාථ කරන සිද්ධි නිතර නිතර අසන්නට දකින්නට ලැබීම එයට හේතුවයි. විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක් තමන්ගේ බිරිය සහ දරුවන් පාරට ඇද දමා තමන්ගේ වැඩිමහල් පුතාගේ වයස වන විසිඑක් හැවිරිදි කාන්තාවක් නිවෙසට රැගෙන ආ පුවතක් වාර්තා වූයේ උතුරු මැද පළාතෙනි. මේ විසිඑක් හැවිරිදි තරුණියගේ මව හමුදා නිලධාරියාටත් වඩා වයසින් බාලය. මෙම සිදුවීමෙන් පසුව හමුදා නිලධාරියාගේ නීත්‍යනුකූල බිරිය සිදුවීම පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සියලු පාර්ශ්වයන් පොලිසියට කැඳවා ඇත. එහිදී නීත්‍යනුකූල බිරියත් විසිඑක් හැවිරිදි තරුණියත් විශ්‍රාමික හමුදා නිලධාරියා තමන්ට අවශ්‍ය බව කියමින් හඬා වැලපෙමින් පවසා ඇත. පොලිසියටද ප්‍රශ්නය විසඳීම ප්‍රශ්නයක් වී ඇත.

මෙවන් ආකාරයේ පුවත් පසුගිය කාලය පුරා මාධ්‍ය මඟින් අපට අසන්නට දකින්නට ලැබිණි. විශේෂයෙන් මහලු පුද්ගලයන් කුඩා දරු දැරියන්ව දූෂණය කළ පුවත් මාධ්‍ය වාර්තා කර තිබිණි. මවුපියන් තමන්ගේ දූ දරුවන් පිළිබඳ වැඩිපුරම අවධානය යොමු කළ යුත්තේ මෙවන් පුද්ගලයන්ගෙන් සිදුවන අතවරවලින් ඔවුන් බේරා ගැනීමටය.

-එල්මෝ ගුණරත්න ලියයි

0 comments: