~ මගේ ඇස අග කියවීම ~ කසුන් මහේන්ද්‍ර හීනටිගල විසිනි...


පළවෙනි කාරණාව මේ ‘ඇගේ ඇස අග’ කියවීම නෙමෙයි. මේ ‘මගේ ඇස අග’ කියවීම.

‘අශෝක හඳගම’ කියන නිර්මාණකරුවා මට සෙට් වෙන්නෙ මම බට්ටෙක් කාලෙදි. ඒ ‘සින්තටික් සිහින’ හරහා. මට මතකයි ඒ කාලෙ ඉවක් බවක් නැතුව ගේ පුරා දුවන්නෙත් හරියට වචනවත් ගළපගන්න බැරුව ‘කොම්බුවක් තරං ඇතී අපේ ලව් බිංදුවේ...සමන්තී’ කිය කිය. කොහොම හරි කාල අවකාශ තත්පර කල්පයක් ගෙවෙනකොට බට්ටා මුහුකුරා ගිය සහෘදයෙක් වෙනවා. මේ ඒ සහෘද සටහන.

හඳගමට මං කැමති ඔහු පොදු නිර්මාණකරුවන් අභිබවා යන ‘ඕල්රවුන්ඩ’ කෙනෙක් නිසා. එහෙම මිනිස්සු මේ දූපතේ අඩුයි. මොකද අපි දන්න හඳුනන සිනමා අධ්‍යක්ෂකවරු බහුතරේට වෙන පොදු කෙළවීම තමයි කතාවෙ පිටපත ඇතුළෙ චරිත විහිදීම එකක් , අදියුරුගෙ හැඟවීම එකක්, එළියට කැපෙන්නෙ තව එකක් වීම. ඒවා බැලුවට පස්සෙ ප්‍රේක්ෂකයා තෝන්දු මාන්දුයි. හඳගම තනි නිර්මාණශීලී ඒකාධිපතිත්වයක් ඇතුළෙ තමන්ගෙ වැඩේ තනියම කරනවා. පිටපතත් මනුස්සයගෙ , කතාවත් මනුස්සයගෙ , අදියුරුත් මිනිහා, සින්දු ලියන්නෙත් මිනිහා. ඒ වගේම ‘වේදිකා පන්නරයෙන්’ රත් වෙලා ප්‍රාසාංගිකව දැනෙන්න වැඩ කරපු ලංකාවෙ අවසන් කිහිප දෙනා අතරෙ හඳගම ඉන්නෙ අතිශය ඉදිරිගාමී තැනක.

අදටත් ලංකාවෙ වෘත්තිමය වශයෙන් ගීත රචකයො යයි කියාගන්න කිසිදු කෙනෙකුට හිතා ගන්නවත් බැරි මට්ටමේ පට්ට රොමෑන්ස් එකක් හඳගම අපිට ඉතුරු කරනවා. මං ආස ඒකට. මේ ‘අතීත කාමය’ ඇතුළෙ කැමති කෙනෙකුට , කැමති විදිහට ප්‍රේමය විසුරවන්න පුළුවන්.

‘ ඔබේ තොල්පෙති වැදී
මගේ නළලේ කොනක
කේශනාලිකාවක් පිපිරුණා
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
ආදරේ කරනු මිස...’

ඊට පස්සෙ මගෙ නව යොවුන් විය මතකෙ ‘අක්ෂරය.’ ඒ කාලෙ එෆ් බී , සයිබර් අදහස් තියා ෆෝන් කට්ටක්වත් නැතුව ගෙදට්ට හොරෙන් කැෆේ යන කාලෙ. ඒ කාලෙ තමයි කාලේ! කොහොමහරි ඉතාම අපහසුවෙන් ‘හොර කොපියක්’ තැරැව්කාරයෙක්ගෙන් හොයාගෙන යාළුවො සැට්ටෙකත් එක්කම අක්ෂරය බැලුවා. ‘ඊඩිපස් කම්ප්ලෙක්ස්’ තියා ‘කාජුරාඕ’වත් නොදන්න රටක ඒ වගේ වැඩක් ආයෙ වෙන් නෑ !

සිනමා නිර්මාණ ඇතුළෙ මුසුවෙන හඳගම ලකුණ තියන ගීත වලට වඩා මට සැට් වෙන්නෙ ඔහුගෙ ප්‍රාසාංගික ගීත. මතකෙ නිවැරදි නං ‘මේ පාරෙන් එන්න’ ටෙලියෙ කපිල පූගලආරච්චි කියන ‘සමනලී’ ගීය ඒ වින්දනය මතක් කිරීමක්. සින්දු සාහිත්‍යයට ලව් කිරීමක්.
මගේ ඇස අග , ‘ඇගේ ඇස අග’ දකින්නෙ ප්‍රයෝගික තලයෙන්. එහෙම නැත්නං නිර්මාණය එළියට ආවට පස්සෙ වෙච්ච දේවල් ඇතුළෙ.
මුලින්ම එහි රඟන ‘රීතිකා’ කියන නිළිය සාකච්ඡාවකදි කියල තිබ්බෙ ‘ඇගේ ඇස අග තුළ නිරුවත් වුණේ ඇය නෙමෙයි’ කියල. මට අනුව ඒ කතාවම මේ ජෙනරේෂන් එකේදි ‘නිරුවත් වීමට වඩා භයානකයි’. එතකොට එතැනදි රීතිකාට වඩා ස්ත්‍රී පෞරුෂයක ‘තනි තටුවෙන් පියාඹන්න’ අනෝමට ගටයි - කටයි තිබුණා නේද කියල අපිට මතක් වෙනවා. ඇත්තටම පුහු සාරධර්ම කරපින්නාගත්ත කුහක පසුගාමී සමාජෙක ඈ සදාචාර වලට වැටිය යුතු නැහැ යන්නයි මගේ හැඟීම. රීතිකාගෙ රංගන කුසලතා වගේම ‘බොඩි ලැන්වේජ් ස්කිල්ස්’ හදාගන්න චුට්ටක් ‘රිචා චඩ්ඩා’ වගේ ‘සමාජ ගින්නට බය නැති ඉන්දීය නිළියක්’ දිහා බලන්න කියල මං යෝජනා කරනවා.

ඊළඟට හුඟක් ‘දේශපාලනික මිනිස්සු’ කිව්වෙ හඳගම දර්ශනවාද ඔප්පු කරන්න , හරියට නිගාමී ප්‍රවේශ වල ඉන්නවා වගේ නිර්මාණ කරනවා කියල. මං ඒ කතාවට විරුද්ධයි. මොකද සියල්ලෝම කරන්නෙ ඒ දේ තමයි. දැන හෝ නොදැන තමන් අදහන දැක්ම හෝ ඔළුවෙ තියෙන යුතෝපියාව එළියට ගේන්න හදන එක. එතැනදි ගොන් පාට් වලට ආස ඔළු ගොන් ජෝක් සමාජගත කරනවා. පෙම් පාට් වලට ආස හිත් පෙම් පාට් සමාජගත කරනවා. රජ කතා වලට සහ පාලක වන්දනයට කැමති කොඳු රජ කතා නිර්මාණය කරනවා. අරෙහෙ ‘මජීඩ් මජිඩි’ලා දරුවො අරන් වැඩිහිටියන්ට පවා කඳුළු එන නිර්මාණ කරද්දි මෙහෙ වැඩිහිටි නිර්මාණකරුවො ‘දමිළ ප්ලොට් අරන් පොඩි ස්කෙච් එකක් ගහල’ නිර්මාණ කරල සම්මාන ගන්නවා. මේ හැමදෙයක් අස්සෙම ‘අශෝක හඳගම’ නිර්මාණය තුළ තමන් රැඩිකල් කියල තහවුරු කරන්න හදනවා. ඒක සුන්දර වැඩක්! නමුත් මට දැනෙන විදිහට එතැන තියෙන්නෙ වෙන අවුලක්.

ඒ තමයි සම්ප්‍රදායට ඕකේ වෙලා (විවාහය - පූර්ව කුටුම්බය - සමාජ සම්මත නිලධාරී රැකියාවක්) නඩත්තු කරන ගමන් මේ නිර්මාණකරුවා හැමදාම නිර්මාණ ස්ක්‍රීන් ඇතුළෙ ‘සමාජ සම්ප්‍රදායට පයින් ගහනවා.’ මං කියන්නෙ ඒ පා පහර ක්‍රමයට රිදෙන්න දැනෙන්න නං තව තවත් ලයිෆ් ස්ටයිල්ලෙක ඇතුළෙ නිර්මාණය කරන මනුස්සයා අවංක විය යුතුයි. සියලු කෙලෙස් නැසිය යුතු නැහැ - නමුත් ‘අදහන පරමාදර්ශ වල නියැලෙන - කියන දේ ජීවිතෙන් පෙන්වන’ පුරුද්ද තිබිය යුතුයි. උදාහරණයක් හැටියට ලංකාවෙ වමට කෙළවුණේ 1930 ඉඳන් ඔන්න ඔය ‘දේශපාලන කෑල්ල’ නොතිබුණ හින්දා.

අනික් කාරණේ මට 'ස්වර්ණා' කියන සුදක්ෂ නිළියගෙ මේ ඇස අග රංගනය හැරෙන හැරෙන හැම වෙලේම ඒක ඇතුළෙ ‘ජනාදරී’ව දර්ශනගත වීම. ඒක එක්කො මගේ අවුලක්. එහෙම නැත්නං ඇගේ හෙයා ස්ටයිල් එකේ හරි දෙබස් උච්චාරණ විදිහෙ හරි තියෙන සමානත්වයක්. කොහොම වුණත් මගෙ යෝජනාව හඳගම තව තවත් වෙනස් ස්ත්‍රී හැඩතල , නූතන ලලිත කලා ශරීර ගැන අප්ඩේට් විය යුතු බව. එතකොට මේ මොහොතට සැට් වෙන්න ෆ්‍රෙෂ් පිට සෙක්ස් ෆික්ස් කරගන්න පුළුවන්.

අනික මං ඉතාම කැමතියි හඳගම සතු ඉවසීමට. මල් ඒ වගේම ගල් මොන මොනවා වැදුණත් මනුස්සයා තව කාලෙකින් තව නිර්මාණයක් කරනවා. ඒක ඇතුළෙ ඊට පස්සෙ නව කතාබහක් හැදෙනවා. අලුත් මුහුණු කල එළි බහිනවා. හරසුන් වැඩ වලින් පායලා පායලා කාෂ්ටක වෙච්ච දූපතට මේ මනුස්සයා තෙමෙන්න හරි, යටවෙන්න හරි, ගංවතුරෙ ගිලෙන්න හරි සිනමා නිර්මාණයක් කරනවා. මං හඳගම කියන නිර්මාණකරුවට ආදරේ ඒකයි !

පොට පටලවාගෙන , පැරණි ඇරියස් කවර් කරන්න හදන ප්‍රශස්ත විචාරකයන්ට දුහුනෙක් හැටියට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. අපි සෙවිය යුත්තෙ ඇගේ ඇස අග මාට්ටුද , ඇලජික් ද කියල නෙමෙයි , ලංකාව තව දුරටත් ලංකා සිතියමේ ප්‍රමාණෙට තියාගන්නවද කියන එක. හඳගම කාලෙකට කලින් ලස්සන කතාවක් කියනව.
‘අපි යන්නෙ වෘත්තයක. ඒ නිසා වෘත්තයක සරන විට පසුකර ගිය දේ නැවත හමුවිය හැකියි.’

මේ නිසා කලබල වෙලා ගල් කැට ගහනවට වඩා නිර්මාණයට අකමැති නං ආයෙ ආයෙ ඒකම අත පත ගෑම , එහි කැටයම් රවුම්ද කියා බැලීම අර්ථ විරහිතයි කියලයි මට හිතෙන්නෙ.

සිනමා නිර්මාණයක් ලියනවට වඩා , අධ්‍යක්ෂණය කරනවට වඩා, රඟපානවට වඩා ලංකාවෙ අමාරුම දේ ඒ නිර්මාණය ප්‍රදර්ශනය කරන එක බව අමුතුවෙන් කිවයුතු නැහැ. මේ තාවකාලික ගැප් එකක් අස්සෙ හඳගමට ‘මරාගෙන මැරෙන්න’ තීරණේ කරන්න වෙන්නෙ ඒකයි. අපි සහෘදයො විදිහටත් , විචාරකයො විචාරකයො හැටියටත් , නිර්මාණකරුවො නිර්මාණකරුවො හැටියටත් මුලින්ම ෆයිට් කරන්න ඕනි ‘සමස්ත නිර්මාණ වෙනුවෙන් සාධාරණ ප්‍රදර්ශන අවකාශයක් හදාගන්න.’

‘ඇහැරෙන්න’ නෙමෙයි මං නං කියන්නෙ හුස්ම වැටෙන හැමෝටම මේ නිර්මාණය හුස්ම ගන්න ළඟම සිනමාහලෙන් සීරුවෙන් ‘හැරෙන්න’ කියල !

| කසුන් මහේන්ද්‍ර හීනටිගල












0 comments: