එකමත් එක රටක...(කසුන් මහේන්ද්‍ර හීනටිගල විසිනි.)


උදෑසන ඇරඹෙයි. ටීවී චැනල ඔන් වෙයි. පුවත්පත් කියවන්නන් ඔළු තුළ ඇති ජාතිවාදී ගූ සියල්ල ජනතාවට ගසයි. ජනතාව ඒවා කැච් එකක් මෙන් අල්ලා රසවිඳියි. පත්තර නොකියවයි.

උදෑසන ගතවෙයි. රසමසවුළු සියල්ල රූපවාහිනියේ ඉදෙයි. රස නහර පෙරළි කරණම් ගසයි. කිසි රසක් නැති කුස්සි පාළුයි.


දහවල එළඹෙයි. ‘තෙරුවන් සරණ අයදින බෝධි පූජා ගී , ‘ලොකු මිල මුදල්’ නෑ නෑ කියා නාහෙන් අඬන හැඬුම් ගී’ ගුවනේ මුසුවෙයි. එක හා සමාන තේරුම් ඇති - සමාන විෂුවල් ඇති - අපහසුවෙන් දඟලන ගායන විලාස ඇති මේවා දැක නංගිලා ජවයෙන් මත් වෙයි. අයියලා මොන සෙල්ලං දැම්මත් ඉජු ඉජු කී ඉක්මනට ළඟට කැන්දන විෂුවල් ලෝකය හැබෑ පොළොවට වඩා මොන තරං ෂෝයිදැයි සිතයි.

දහවල ගෙවෙයි. සුන්දරත්වය හිමි ජීවිත විකාශය කෙරෙන ෆිල්ම් වල පමණක් සිටියි. සැබෑ ජීවිත මහ පාරේ ගිනි අව්වේ කරවෙයි.

හැන්දෑව පැමිණෙයි - ගෙවෙයි. හුස්ම ගන්නා වීරයන් නොමැති හේතුවෙන් කාටුන් ජීවිත දරුවන්ගෙ ලොව රජවෙයි. දරුවෙක් පාසලේදී තමන්ගෙ වීරයා ගැන ලියන්නැයි කී විට මෙසේ ලියා තිබෙයි. මගේ වීරයා සෝනික්. එයා හැමදාම දිනයි. පරාජය නොවෙයි. ඒ කොණ්ඩය තියෙන විදිහට මං ආසයි. මගේ වීරයාට බුදු සරණයි.

රාත්‍රිය සැරසෙයි. සුටු සුටු ගා සියලු වැඩ හමාර කොට මව්වරු දූවරු හා පුතුන් සාලයට රැස්වෙයි. ‘ඊයෙ අරකිට මොකෙයි වුණේ පැනල ගියැයි ?’ මිත්තණිය අසයි. ‘පිස්සුද පැනල යන්න ඔන්න මෙන්න තියෙද්දි බඩු මාට්ටු’ චූටි නංගී උත්තර දෙයි. හඬා දොඩා හඬ කැවූ ඉෂිතාගේ සුදු මූණ ඉඹ ඉඹ මෙහෙ මූණු බුකවගෙන නින්දට යයි.

උදෑසන එළඹෙයි. අලුත් දවසක පරණ සිද්ධි සියල්ල නැවත නැවත - නැවත නැවත සිදුවෙයි !


සටහන - කසුන් මහේන්ද්‍ර හීනටිගල












0 comments: