ඔයාලගෙම වෙන්න හදන ගායන තරුවක්.


නීති ශිෂ්‍යයෙක් කියන්නේ ව්‍යවස්ථා,නඩු තීරණ,රෙගුලාසි,අණ පනත් කට පාඩම් කිරීම හමුවේ හිරවුණ ජීවිතයක් ගෙවන්නා වූ අයෙක් ලෙස සමාජයේ බොහෝ දෙනෙක් අතර මතයක් පවතිනවා.නමුත්,අද 'shii magazine' අප සමග සුහද කතා බහට එක් වන 'ප්‍රමිත් ගනේආරච්චි' වෙනස්ම සෞන්දර්යාත්මක ජීවිතයක් ගත කරන නීති ශිෂ්‍යයෙක්.


  • ආයුබෝවන්,ප්‍රමිත් ඔබගේ සම්පූර්ණ නම කියමින්ම කතා බහට එකතු වෙමු?

ගීතක සෞම්‍ය ප්‍රමිත් ගනේආරච්චි.

  • "ගීතක සෞම්‍ය" යම් ආකාරයකින් ඔබගේ නිපුණතාවයක් නමින්ම සදහන් කරන පුදුමාකාර ප්‍රවේෂයක් නේද?
මට මේ නම දාලා තියෙන්නේ අම්මයි අප්පච්චියි.ඉපදුණ වෙලාවේ වෙලාව බැලුවාම කියලා තිබුණා සංගීතය පිළිබදව දක්ෂතාවයක් දක්වන කෙනෙක් වෙයි කියලා...සමහරවිට නම දාද්දි අම්මා අප්පච්චිගේ ඔළුවේ ඒකත් තියෙන්න ඇති.

  • ඔබ පාසල් කාලයේදී සංගීතය පිළිබදව දක්ෂතාවයන් දක්වා තිබේද?
ඔව්,මම 5 ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වෙලා කොළඹ ආනන්ද විද්‍යාලයට ආපු එක මගේ ජීවිතයේ ලොකු සංධිස්ථානයක්,මං හිතන්නේ එතනින් තමයි ජීවිතය වෙනස් වුණේ. 

  • 'සිරස සුපර් ස්ටාර්' තරගාවලියෙන් ඔබ අනපේක්ෂිත ලෙස ඉවත් වෙනවා.ඒ දවස් වල ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා ඒ සිදුවීමට...මේ අවස්ථාවේදී ඔබ ඒ අත්දැකීම ගැන මතකය අවදි කරන්නේ කොහොමද?
ඇත්තටම ඒ සිදුවීම වුණේ අපි කවුරුත් බලාපොරොත්තු වුණ විදියට නෙවෙයි.එදා විනිශ්චය මණ්ඩලය විසින් ලබා දුන් ප්‍රතිචාරත් එක්ක මම හිතුවා මම ඊළග වටයට යන්න හොද අවස්ථාවක් තිබුණා කියලා...කොහොම වුණත් හිතුවෙ නැති විදියට මට තරගයෙන් ඉවත්වෙන්න සිදු වුණා.

  • ඔබව ටික කාලයකින් අපිට දකින්න ලැබුණේ නෑ.ඇයි ඒ?
මම මගේ නීති අධ්‍යාපන කටයුතුත් එක්ක ඒ ගැන තමයි වැඩි අවධානයක් දීලා තිබුණේ.ඒ නිසා සංගීත කටයුතු වලින් පොඩ්ඩක් දුරට ඉවත්වෙලා හිටියා.


  • ඔබ මේ දවස් වල කරන 'කවර්ස්' ජනප්‍රිය වෙලා තියෙනවා.'කවර්ස්' ම කරමින් ඉන්නද බලාපොරොත්තුව?

"කවර්ස්" ගැන කතා කරනවානම් ලංකාවේ අයට ඒ ගැන ලොකු අවබෝධයක් නැති වුණාට ලෝකයේ "කවර්ස්" කියන්නෙත් වෙනමම කලාවක් ..ලෝකයේ ගොඩක් ගායකයෝ ඉන්නවා කවර්ස් වලින්ම වාණිජ වටිනාකමක් හදා ගත්තු...අනිත් අතට ඒ වාණිජ වටිනාකමටත් වඩා මම දකින විශේෂත්වය තමයි ඔරිජිනල් සින්දුවටත් වඩා "කවර්" එකක් කරනකොට හිතන්න දේවල් ගොඩක් තියෙනවා.මොකද දැනට පවතින ගීතයේ මුල් කෘතියට හානියක් නොවන විදියට ඒ වැඩේ කරන්න ඕන."කවර්ස්" ගැන කතා කරනකොට මම හැමවෙලාවෙම උත්සාහ කරන්නේ ලයිව් සින්ගින් පැත්තට විශේෂත්වයක් දෙන්න ඒකේ වෙනම හැඩයක් තියෙනවා.

  • ඔබ මේ සිදු කරන්නේ බුද්ධිමය දේපළ කොල්ලයක් නේද?
සාධාරණ ප්‍රශ්නයක්...ඇත්තටම ඒ චෝදනාව සාධාරණ වෙන්නේ කවර්ස් වාණිජමය වටිනාකමකින් මම භාවිතා කරනවා නම් පමණයි.මම මෙතනදි උත්සාහ කරලා තියෙන්නේ අපි හැමෝම ආදරය කරන ගීත අලුත් හැඩයකින් සජීවීව ගායනා කිරීමට පමණයි.සමහර අවස්ථාවල කවර්ස් නිසා මුල් ගීත නිර්මාණය පවා නැවත මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න හේතු වෙලා තියෙනවා.

  • ඔබේ කුළුදුල් මියුසික් වීඩියෝව අන්තර්ජාලයේ ජනප්‍රිය වුණා...ඒ ගැනත් යම් සදහනක් කළොත් මේ වෙලාවේ?
ඒක මගේ මුල්ම නිර්මාණය.ඒ ගීතය මගේ අදහසකට අනූව නිර්මාණය වූ දෙයක් නොවෙයි.මගේ මිතුරෝ කණ්ඩායමක් තමයි ඒ ගීතය නිර්මාණය කරේ.ඒක යම් මට්ටමකට ජනප්‍රිය වුණා.මගේ අලුත් නිර්මාණ කීපයක් ඉදිරියට එන්න තියෙනවා.

  • ලංකාවේ දැන් පවතින්නේ ඒකාකාරීම මියුසික් වීඩියෝ රැල්ලක්.ප්‍රමිත් ගනේආරච්චිගේ නිර්මාණත් එහිම දිගුවක්ද?
ගොඩක් වෙලාවට ඕනම කෙනෙක් සින්දුවක් එළියට දාද්දි ඇහෙන කතාව තමයි මේ ගීතයෙන් මම වෙනසක් කරනවා කියන එක.ඒත් අන්තිමට අහලා බලද්දි ඒකත් ඒ ක්‍රමයේම දිගුවක් විතරයි.ඒ නිසා මම කියන්නේ නැහැ මම වෙනසක් කරනවා කියලා...ඒක තීරණය කරන්න ඕන මගේ ගීත අහන රසිකයෝ.කොහොමත් සංගීතය කියන්නේ හදවතේ භාෂාව,ඒ නිසා මම හැම වෙලාවේම උත්සාහ කරන්නේ මගේ ගීතයෙන් මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන්න.

  • අනාගත බලාපොරොත්තුව සංගීත ලෝකයේ තරුවක් වෙන්නද?
මෙහෙමයි,මට ඕන තරුවක් වෙන්න නෙවෙයි...මට ඕන මිනිස්සුන්ගේ හදවතට ලං වුණ හැමදාම මිනිස්සු ආදරය කරන හැමදාම මිනිස්සුන්ගේ මතකයේ ඉන්න ගායකයෙක් වෙන්න.


සාකච්ඡාව මෙහෙයවීම - ඉෂාර ලක්මිණ. 


0 comments: