ඉරිසියා හිතෙන තරම් ලස්සන ඉරිස්.


විනිසුරු මඩුල්ලේ නෙත් සිත් මුලින්ම ඇදී ගියේ ඉරිස්ගේ මනහර සිනහවටය. පිලිපීනයේ මැනිලා නුවර පසුගියදා පැවැති 65 වැනි විශ්ව රූ රැජන අභිෂේක ගැන්වීමේ උළෙලේ අන්තිම වටය දක්වා මේ 24 හැවිරිදි ප්‍රංශ යුවතිය ඉහළට ඔසවා තැබුවේ මුතු ඇට වන් දසන් පෙළ විහිදා දුටුවන් මන්මත් කරවන අපූරු සිනහවය.

සැබැවින්ම කුඩා වියේදී නම් එවැනි සිනහවක් පෑමට තරම් ඇගේ දත්පෙළ ප්‍රියමනාප බවක් ගත්තේ නැත. එසේ වුවත් තාරුණ්‍යය එළැඹෙද්දී ඇගේ දන්ත වෛද්‍යවරයාගේ දිරිගැන්වීම නිසා සිත් ආකර්ෂණය කරවන සුලු සිනහවක අයිතිකාරිය වීමට අන්තිමේදී ඇය සමත්වූවාය.

මේ පියකරු යුවතිය ඉන් අමුතු දිරියක් ලද්දීය. පැරීසියෙන් කිලෝමීටර් 250ක් පමණ ඈතට වෙන්නට පිහිටි ලීල් නම් ග්‍රාමීය පළාතක උපන් සිහින් සිරුරැති තරුණිය සිය අනාගත වෘත්තීය ලෙස දන්ත වෙදකම තෝරාගැනීමට තීරණය කළේ ඉන් පසුවය. ඇයට වුවමනා වී ඇත්තේ දත්පෙළ අප්‍රසන්න නිසා සිනහව සඟවන තවත් ප්‍රංශ යුවතියන් දහස් ගණනාවකට සිනහව තිළිණ කිරීමටය.

වසර 64කට පසුව ප්‍රංශයට විශ්ව රූ රැජන කිරුළ ගෙන දීමට මේ සුන්දර යුවතිය ඉරිස් මිතනේර්ට ඇගේ පියකරු සිනහවත් කදිම ආභරණයක් වූයේ එලෙසිනි. 1953 දී පළමු වතාවට ප්‍රංශයට විශ්ව රූ රැජන කිරුළ ගෙන දුන් ක්‍රිස්ටියන් මර්ටෙල්ගෙන් පසු ප්‍රංශයට විශ්ව රූ රැජනක් හිමිවූයේ එලෙසිනි.

ඇය මෙවර තරගයේ අවසන් දෙදෙනා ලෙස වේදිකාවේ දෑත් අල්ලාගෙන කුතුහලයෙන් යුතුව බලා සිටියේ හයිටි දූපත් සමූහයේ රැකුවෙල් පෙලිසියර් සමඟිනි. දහස් සංඛ්‍යාත නරඹන්නෝ දෑස් විසල් කරමින් බලා සිටියහ. නිවේදන කටයුතු සිදු කරනු ලැබුවේ පසුගිය වසරේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැති විශ්ව රූ රැජන තරගයේදිත් නිවේදන කටයුතු සිදු කළ ස්ටීව් හාවේ විසිනි.

එහි දී අන්තිම දෙන්නා වූ කොලොම්බියානු සහ පිලිපීන තරුණියන් වේදිකාව මත සිටි අතර ජයග්‍රාහිකාව නම් කරන්නට ගොස් හාර්වේ වැඩේ වරද්දා ගත්තේය. විශ්ව සුන්දරිය ‘මිස් පිලිපීන්‘ වෙනුවට ඔහු කීවේ ‘මිස් කොලොම්බියා‘ කියාය.

මේ වසරේ විශ්ව සුන්දරියට ඔටුනු පැලඳවීමට වේදිකාවට පැමිණ සිටි පසුගිය වසරේ විශ්ව සුන්දරිය වූ පිලිපීනයේ පියා වුට්ස්බැච්ට එය අමතක නොවන සිදුවීමකි. මෙවර ද හාර්වේ නම වරද්දා ගනීවිදැයි ඕ දෙගිඩියාවට පත්ව සිටි බව නම් සහතිකය. ඊළඟ මොහොතේ දකින්නට ලැබුණේ ඇය විසින් හාර්වේට ‘බෝතල් අඩි‘ මෙන් විශාල උපැස් යුවළක් පිරිනමනු ලැබීමය. නරඹන්නන්ගේ සිනහවෙන් වේදිකාව පිරි යද්දී හාර්වේ ජයග්‍රාහිකාව ‘මිස් ෆ්‍රාන්ස්‘ යැයි නිවැරැදිව හා අකුරටම කීවේය.

දෙසවන් අදහාගත නොහැකිව ඉරිස් විසල්ව ගිය දෑසින් අවට බලන්නට වුවාය. කර වටා බාපනයකුත්, දෑතට මල් කළඹකුත් ලැබෙද්දී ඇය සිටියේ සතුටු කඳුළු වගුරුවමිනි.

අනතුරුව පිලිපිනයේ විශ්ව සුන්දරිය වූ පියා වසරක් පුරා අයිතිකරගෙන සිටි ඔටුන්න ප්‍රංශ යුවතියගේ හිසේ පලඳිද්දී ලක්ෂ සංඛ්‍යාත පිලිපීන වැසියන් නිවෙස්වලත්, අවන්හල්වලත් එළුමස්වලින් පිසින ලද ‘කල්දේරෙටා‘ කමින් එදෙස බලා සිටියහ.

දියමන්ති කැබැලි 311ක් ද, පුෂ්පරාග කැබැලි 5ක් ද, නිල්මිණි කැට 198ක් ද, පළිඟු කැබැලි 33ක් ද, රත්රන් ග්‍රෑම් 220ක් ද ඇතුළත් ග්‍රෑම් 411ක් බරැති අමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක් වටිනා විශ්ව රූ රැජනගේ මනරම් ඔටුන්න දැන් ඉරිස්ගේය.

ඉතිහාසය හා භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකුටත්, පාසල් ගුරුවරියකටත් දාව උපන් ඉරිස් සිය ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ නිදහසේය. ඇගේ මාපියන් වෙන්වෙද්දී අවුරුදු 3ක පුංචි දැරියක විටි ඉරිස් ඉන් පසුව හැදී වැඩුණේ සිය මව සමගය.

ඇය දැන් ලීල් නුවර සෞඛ්‍ය හා නීතිය පිළිබඳ විශ්ව විද්‍යාලයේ දන්ත විද්‍යාව හදාරමින් සිටින්නීය. තවත් වසර කිහිපයකින් සිය උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව ඕ දන්ත වෛද්‍යවරියක ලෙස ජනතාව හමුවට පැමිණෙනු ඇත.

බළලුන්ට දැඩි ඇල්මක් දක්වන ඉරිසාට සිය සුරතල් බළලුන් දෙදෙනාවත් පිලිපීනයට කැඳවාගෙන ආවා නම් හොඳ බව සිතුණේ ඔටුන්නට හිමිකම් කීමෙන් පසු උදාවූ පළමු රාත්‍රියේදීය. නිවසේ සිටියදී මේ සුරතලුන් දෙදෙනා සමග එකම යහනේ රැය පහන් කරන ඉරිසාට එදා රාත්‍රියේ දැනුණේ දැඩි පාලුවකි.

රට රටවල ඇවිදින්නට තමා බෙහෙවින් ප්‍රිය කරන බවත්, අයිස් ක්‍රීම් රසැති ‘මිල්ක් චොකලට්‘ කමින් මුහුදු වෙරළක නිදහසේ පොතක් කියවන්නට කැමැති බවත් ඉරිසා කීවේ ඊළඟ දිනයේ පැවැති ඇගේ පළමු සම්මුඛ සාකච්ඡාවේදීය. එය ලොව පුරා නැරැඹූ ලක්ෂ සංඛ්‍යාත තරුණියන්ට ‘චොකලට්‘ කෑම මහත්වීමට හේතුවක් බව දැන් ඉතින් කවුරු කීවත් පිළිගන්නේ නැති බව නම් සහතිකය.

ඉරිස්ගේ විනෝදාංශ නම් අද කාලේ අපේ රටේ බොහෝ තරුණියන්ටත් ආදර්ශවත් එකකි. ඇය කීවේ ඉහුම් පිහුම්වලට වැඩි කැමැත්තක් දක්වන බවය. ප්‍රංශයට ආවේනික ආහාර පාන පිළියෙල කිරීමට ඉරිසා දක්වන්නේ පුදුමාකාර හැකියාවකි. ඒ අතින් ඇය මුළුතැන්ගෙයි පැත්ත පළාතටවත් යාමට අකැමැති බොහෝ තරුණියන්ට කදිම ආදර්ශයකි. ගෝවාවලින් සාදන ලොව් ෆැසියම්, ප්‍රංශයටම ආවේනික මාළු ස්ටූව, සුදුලූණු සහ බටර් දමා සාදන එස්කාර්ගොට් වැනි ආහාර පිසීම ඇයට කජු කනවා වැනි වැඩකි.

ඉරිස් කියන්නේ තමා නිර්භීත යුවතියක් බවය. ඇතැම් තරුණියන් ගුවන් යානාවකින් යාමටත් බියක් දැක්වූවත් තමා නම් ගුවන්යානාවලින් පැරෂූට් මගින් බිමට පැනීමට දැඩි ආසාවක් දක්වන බව ඇය කියන්නීය. ‘ස්කයි ඩයිවිං‘ ලෙස ප්‍රචලිත මේ ත්‍රාසජනක ‘ගුවන් පිම්ම‘ ඉරිස්ගේ ප්‍රියතම ක්‍රීඩාව බවට පත්වී තිබීමත් විස්මයජනකය. ඇය මේ වෙද්දී එවැනි භයානක ගුවන් පිමි කිහිපයක්ම පැන තිබේ. ඉදිරියේදීත් පනින බව ඇය කියන්නේ සිනහමුසුවය.

අලුත්ම විශ්ව රූ රැජන එවැනි වර්ගයේ තරුණියකි. ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේත් ඇය ලිලී මලක් මෙන් ප්‍රංශය සුවඳවත් කරන්නට සමත්වූයේ එලෙසිනි.

0 comments: