ආසියාවේ නොබෙල් තෑග්ග අපේ දමිළ ගුරු මාතාවකට.

ශ්‍රී ලාංකික දමිළ ගුරු මාතාවකට ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස හඳුන්වන 2017 රොමොන් මැග්සේසේ සම්මානය හිමිව තිබේ. මේ සම්මානය ලාංකික දමිළ කාන්තාවකට හිමිවූ දෙවැනි අවස්ථාව මෙයයි. යුද්ධය නිසා පීඩාවට පත්වූ දරුවන් සහ කාන්තාවන්ගේ මානසිකත්වය නඟා සිටුවීමට ඇය සිදුකළ කැපවීම සැලකිල්ලට ගෙන ගිත්සි ෂන්මුගම් ගුරු මාතාවට මේ සම්මානය පුදකර තිබේ. මැග්සේසේ පදනම ඇය හඳුන්වා දී ඇත්තේ සිය දේශයේ දරුවනට සැබෑ මාතාවක වූ තැනැත්තියක ලෙසිනි.

රොමොන් මැග්සේසේ සම්මානය මෙයට පෙර 1958 දී කැනඩාවේ උපත ලබා මෙරටට පැමිණි දමිළ කාන්තාවක වන මේරි රත්නම්හට මුල්වරට හිමිවිය. ඉන්පසු 1959 දී ටාසි විට්ටච්චි පුවත්පත්කලාවේදියාටද, 1969දී ආචාර්ය ඒ.ටී. ආරියරත්න හටද, කලාශූරී මංජු ශ්‍රී හට 1979 දීද මර්සලින් ජයකොඩි පියනම හට 1983 දීද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්හට 1988 දීද පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව හට 2001 දීද මෙම සම්මානය හිමිව තිබේ. අවසන් වතාවට 2008 දී මනෝ වෛද්‍ය ආනන්ද ගලප්පත්ති මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේය.

මෙම වසරේ ශ්‍රී ලාංකික ගුරුමාතාව සමඟ ජපානයේ යෝෂියා කි ඉෂිකාවා ද ඉන්දුනීසියාවේ අබ්දොන් නඛ්ඛාන්, සිංගප්පූරුවේ ටෝනි ටේ, පිලිපීනයේ අධ්‍යාපන රංග සංවිධානය සහ පිලිපීනයේ ලිලියා ද ලීමා සම්මානයට හිමිකම් ලැබූ අනෙක් පිරිසයි.


දශක තුනක කාලයක් ශ්‍රී ලංකාව තුළ පැවැති යුද්ධය හේතුකොට වැඩියෙන්ම පීඩාවට පත්වූයේ කාන්තාවන් සහ දරුවන්ය. මානසික බිඳවැටීමට ලක්ව සියදිවි නසා ගැනීමේ උත්සාහයන්ට පවා මේ අය යොමුව තිබුණි. යුද්ධය සමයේ මේ අයගේ සිත් පීඩාවන් දුරුකර මනස ගොඩනගා ශක්තිමත්ව සමාජයට මුහුණ දෙන්නට උපකාරී වන සමාජ මනෝවිද්‍යාත්මක උපදේශන ක්‍රම හිඟව තිබුණි. ගිත්සි ෂන්මුගම් ගුරු මාතාව සිය සමාජ සත්කාරය අරඹන්නේ එවන් සමයකය.

බ්‍රිතාන්‍ය ජාතිකයන්ට අයත් තේ වත්තක ලිපිකරුවකුගේ දියණියක ලෙස උපත ලද ගිත්සි පෞද්ගලික කාන්තා පාසලක නේවාසිකව ඉගෙනුම ලැබුවාය. ගුරුවරියක් වීම ඇගේ කුඩා කළ සිටම සිහිනය විය. ඒ අනුව ඇය 1967 කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස කටයුතු ඇරඹුවාය. ඒ කාලයේ මනෝවිද්‍යාව පිළිබඳ උනන්දුවක් ඇතිවූ අතර සුබෝධි ආයතනයට සහ පවුල් සංවිධාන ආයතනයකටද සම්බන්ධ වූවාය. 1983 දී ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් ඉවත්ව පූර්ණකාලීනව මනෝ සමාජීය ආධාර කටයුතු සඳහා ස්වේච්ඡාවෙන් කැපවූවාය. ඇය සේව් ද චිල්ඩ්‍රන් ආයතනයේ ක්‍රියාකාරිනියක් ලෙස යුද්ධයේ තර්ජන සහිත මායිම් ගම්මාන කරා යමින් උපදේශන කටයුතුවල යෙදුණාය. ගුරුවරුන් සහ ස්වේච්ඡා සේවකයන් පුහුණු කළාය.


යුද වැන්දඹුවන්, අනාථයන් සහ යුද කම්පනයෙන් පීඩාවට පත් දරුවන් හට නැවත ජීවිතය ගොඩනගා ගැනීමට උපකාරී වූවාය. යුද්ධයෙන් පසු සේව් ද චිල්ඩ්‍රන් වෙතින් සමුගත්තද ඇය මත්ද්‍රව්‍ය, ගෘහස්ථ හිංසනය, ලිංගික ජාවාරම්වලින් පීඩාවට පත්වන කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් වූ සංවිධාන සමග එක්ව කටයුතු කළාය. අසාධාරණයට ලක්වූ තරුණ ප්‍රජාව වෙනුවෙන් ඇය තාවකාලික නිවාසයක් පිහිටුවා තිබේ. 2004 සුනාමි ව්‍යසනය හේතුවෙන් කම්පනයට පත් දරුවන් වෙනුවෙන් යෝග්‍ය වටපිටාවක් තැනීමට රජය පිහිටවූ වැඩසටහනක් සඳහා ඇය පාසල් ගුරුවරුන් 80ක් පුහුණු කළාය. ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් විශිෂ්ට වූ කාර්යභාරයක් ඉටුකළ චරිතයක් ලෙස ගිත්සි ෂන්මුගම් පසුගිය වසරේ පරිසරය හා දරුවන් වෙනුවෙන් වූ රාජ්‍ය නොවන සංවිධානයක් වන එක්පැට් වෙතින්ද සම්මාන ලැබුවාය. වඩාත්ම විශිෂ්ට කාරණාව වන්නේ ඇයගේ සේවය සිංහල දෙමළ භේදයකින් තොරව ඉටුකිරීමයි.

උතුරු නැගෙනහිර යුද්ධය පැවැති සමයේ හැටවන වියේ පසුවූ ඇය සිය වයස, ජාතිය, කාන්තාවක වීම යන කිසිවක් තුට්ටුවකට මායිම් නොකර අහසින් බෝම්බ වැටෙද්දී නිරන්තරයෙන් කොළඹ හා උතුර වෙත යමින් සහන කටයුතුවල අභීතව යෙදුණාය. යුද්ධයෙන් ආබාධිත වූ සිංහල සොල්දාදුවන් මෙන්ම කොටි ක්‍රියාකාරිකයන් යන දෙපක්ෂයටම එකසේ මානසික උපදේශන සැපැයුවාය.

“මම යුද්ධයේදී කිසිම පැත්තක් ගත්තේ නෑ. වතුකරයෙන් බිහිවුණු දෙමළ දැරියක් වෙච්ච මාව හදා වඩා බලාගත්තේ සිංහල මාතාවක්. මේ නිසා ජාතීන් අතර ලොකු බෙදීමක් මට පුංචි කාලේ ඉඳලාම දැනුනේ නෑ. ආගම ගැන සැලකුවත් එහෙමයි. මම උපතින් ක්‍රිස්තියානි වුණාට මම විවාහ වුණේ හින්දු කෙනෙක් එක්ක. පස්සේ මම එම ආගම් දෙකම අතහැරලා දාලා බෞද්ධ දර්ශනය වැළඳ ගත්තා. නිර්මාංශ ජීවිතයකට හුරුපුරුදු වුණා. මේ නිසා මට පුළුල් දැක්මක් ඇතිවුණා. මම භාෂා තුනම කතා කරනවා. හමුදාව, දමිළ කණ්ඩායම් මට එක වගේ සහයෝගය දුන්නා.” මැග්සේසේ සම්මානලාභී ගිත්සි ෂන්මුගම් ගුරුමාතාව තමන්ගේ සමාජ මෙහෙවර පන්නරය ලද හැටි වැඩි විස්තර කළාය.



“මම ශාන්ත ජෝශප්වල උගන්නන කාලේ පන්තියේ සමහර ළමයින්ගේ හැසිරීමේ අමුතු වෙනස්කම් දැක්කා. ඒ අයගේ මානසිකත්වයේ ගැටලු ඇති බව දැක්කා. ඉතින්, ඉස්කෝලෙන් පස්සේ පැයක් දෙකක් ඉඳලා මේ ළමයින්ට ජීවිතයේ ගැටලු විසඳාගන්න උපදෙස් දෙන්න ගත්තා. ඕක දැක්කා අපේ පාලක පූජකතුමා බෙනඩික් ජෝශප් පියතුමා. එතුමා මාව යොමුකළා වෑවල පිළියන්දල සුබෝධි ආයතනය පවත්වාගෙන ගිය ආචාර්ය මර්වින් ප්‍රනාන්දු පියතුමන් වෙතට. එතුමා තමයි ඒ කාලේ මුල්ම මනෝ සමාජීය ක්‍රියාකාරී සංවිධානයක් පවත්වාගෙන ගියේ. එතැනදී මට මනෝ උපදේශන ගැන හොඳ පුහුණුවක් එතුමන් වෙතින් ලැබුණා. ඒ 1982  වාගේ කාලේ. එතැන් ඉඳලා මට හිතුණා යුද්ධයෙන් පීඩාවට පත්වුණ අයට පිහිටවෙන්න ඕනෑ කියලා. ඉතින් මම පාරට බැස්සා.”

ගිත්සි ෂන්මුගම් ගුරුමාතාව මනෝ උපදේශනය සහ සමාජ සත්කාරය පිළිබඳව ලබාගත් පුහුණුවීම් සහ සහතික ගොන්නකි. ඇය තමන්ගේ උපදේශන කටයුතුවලදී ලත් අත්දැකීම්ද මුසුකොට සමාජ මනෝවිද්‍යා සේවාවන්ට අයත් ලේඛන ගණනාවක්ම පලකර තිබේ. මානසික සහන උපදේශනය සඳහා ඇය (තේපැන් සාද) ක්‍රමවේදයක් 2004 සුනාමි ව්‍යසනයත් සමග හඳුන්වා දී තිබුණි. එය ඉතා සාර්ථක සමූහ මනෝ සහන ක්‍රමවේදයක් බවට ඉක්මණින්ම පිළිගැනීමට ලක්විණි. වීදි දරුවන්ගේ මනස විග්‍රහ කරමින් ඇය (What’s Inside?) නමින් කෘතියක් රචනා කර තිබේ.

“මං හුඟක් දේ ඉගෙන ගත්තා වීදි දරුවන්ගෙන්. ඔවුන් තුළ ජාති ආගම් භේද, භාෂා භේද නෑ. ඒ අයගෙන් අපිට හුඟක් ගුරුහරුකම් ගන්න පුළුවන්. ඔවුන්ට හැමදේම අහිමිවෙලා. නමුත් ඔවුන් එක සහෝදර කල්ලියක් හැටියට සාමූහිකව ජීවිතයට මුහුණ දෙනවා. පිරිමි ළමයි ගැහැණු ළමයින්ට කලිසම් කමිස අන්දවලා කොණ්ඩ කොටට කපලා තමන්වගේ පෙන්නන්න සලස්වනවා. ඔවුන් නිදා ගන්නකොට ගෑනු ළමයි මැදට දාලා පිටපැත්තේ පිරිමි ළමයි නිදාගන්නවා. ඒ තමන්ගේ සහෝදරියන්ව ආරක්ෂා කරගන්න. ඒ අය ළඟ තියෙන ළබැඳියාව සහජීවනය එකමුතු බව අපිට ලොකු ආදර්ශයක්.”


“එකපාරක් මට වීදි දරුවන් කණ්ඩායමක් හමුවුණා. ඒකේ නායකයාට අවුරුදු 17ක් විතර ඇති. එයාට තිබ්බේ සිංහල නමක්. මම ඉතින් මගේ කැඩුණු සිංහලෙන් එයාගේ කතාව අහන්න ගත්තා. ටික වේලාවක් යනකොට එයා හොඳ සුද්ධ දෙමළෙන් කතා කරන්න ගත්තා. මම දෙමළ කියලා එයාට තේරුණා. මම පුදුම වුණා. එයාගේ භාෂා දැනුම ගැන. බලනකොට මෙයාගේ උපන්ගම මන්නාරම. දවසක් රෑ ගේ ගිනිගත්තා. අම්මා තාත්තා ආගිය අතක් නෑ. ගමම එක ගිනිජාලාවක්. කරගන්න දෙයක් නැතිව එයා ඇවිදගෙන ස්ටේසමට ඇවිත්. එතැනින් කෝච්චියට නැග්ගා. ඒක ආවේ කොළඹට. එදා ඉඳන් එයා ජීවත්වෙන්න ලොකු සටනක යෙදුණා. දැන් එයා බැඳලා එහෙම සරුවට ඉන්නවා. මේ ළමයි හැමෝම කල්පනා කරන්නේ තමන්ට අහිමිව ගිය ගෙවල් ඇතුළේ පාසල් ඇතුළේ මොනවද තියෙන්නේ කියලා තමයි ඒක, ඒ අය තුළ හැමදාම තියෙන ලොකු කුතුහලයක්. තමන්ට අහිමිව ගිය ජීවිතයට එබිකම් කර බලන එක තමයි. ඒ ගොල්ලන්ගේ ලොකුම ඕනෑකම. What’s inside වලින් කතා කළේ ඒ ගැන. අන්තිමේදී ඒ අයට තමන්ට අහිමි වූ දේ හොයාගන්න අපි උදව් විය යුතුයි. ගිත්සි ෂන්මුගම් ගුරු මාතාව මැග්සේසේ සම්මානයට පාත්‍ර වූයේ ඇය මේ දරුවන් වෙනුවෙන් ලෝකයක් තනා දෙන්නට සිදුකළ උදාර මෙහෙවර අගයමිනි.

♦ සුගත් පී. කුලතුංගආරච්චි

0 comments: