හණමිටියක් උඩ තැබූ ගබ්සාව.


ගබ්සාව, මේ දිනවල සමාජයේ වැඩිම කතාබහකට ලක්වූ මාතෘකාවකි. එය ලොව සෑම රටකම පාහේ පවතින සමාජ ගැටලුවක් ලෙස පෙන්වාදීමෙහි වරදක් නැත. මන්ද ගබ්සාව නීතිගත වුවත් නැතත් එය ලොව පුරා පුළුල් වශයෙන් දැකිය හැකි තත්ත්වයක් වන හෙයිනි. 

ගබ්සාව පිළිබඳ මෙරට කතාබහ අලුත් වූයේ ගබ්සා නීතිය ලිහිල් කිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවීමත් සමඟ ය. එනම් ලිංගික අතවරයක් නිසා සිදුවන ගැබ් ගැනීමකදී හෝ උපදින්නට සිටින දරුවා බරපතළ ආබාධ තත්ත්වයක් ඇතුව උපදින බව තහවුරු වීමකදී ගබ්සා කිරීමට නීතිමය ඉඩහසර ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ පිළිගත් වෛද්‍යරු දෙදෙනකුගේ නිර්දේශය යටතේ රජයේ රෝහලකදී පමණක් යනුවෙන් යැයි යම් සංවරණ තත්ත්වයක් ද සමඟිනි. එහෙත් එම තීරණය හමුවේ මේ වනවිට ශ්‍රී ලාංකික සමාජය තුළ සැලකිය යුතු ආන්දෝලනයක් හටගෙන ඇත.  

ශ්‍රී ලංකාව තුළ ගබ්සාව යනු නීති විරෝධී ක්‍රියාවකි. යම් හෙයකින් දරු උපතක් අතරතුර දරු ගැබ නිසා මවගේ ජීවිතය අනතුරට ලක්වන්නේ නම් පමණක් ගබ්සාවට අවසර දී තිබුණද ප්‍රතිපත්තියක් ලෙස ගබ්සාවට මෙරට නීතියෙන් අවසරයක් නැත. එවන් පසුබිමක වුව ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව ගබ්සා කිරීම් හයසියයකට වැඩි ප්‍රමාණයක් සිදුවන බව පර් යේෂණවලදී තහවුරු වී තිබේ.

මේ අතර දැඩි සාම්ප්‍රදායික සමාජ පරිසරයක් පවතින අසල්වැසි ඉන්දියාවේ පවා ගබ්සා නීතිය ඇත්තේ අපට වඩා ලිහිල් තැනක ය. එනම් දරු ගැබට සති 20ක් ඉකුත් වීමට පෙර එරටදී ගබ්සාවක් සිදුකළ හැක. බංග්ලාදේශයේ දරු ගැබට සති 10ක් ඉකුත් වීමට පෙර ගබ්සාවක් සිදුකරවා ගැනීමට නීතියෙන් බාධාවක් නැත. නමුත් අපේ රට තුළ ගබ්සාවක් කළ හැක්කේ මවගේ ජීවිතය එයින් අවදානමට ලක්වේ නම් පමණි. මෙහිදී සැලකිලිමත් විය යුතු කාරණයක් වන්නේ එසේ කියවෙන්නේ වසර  එකසිය තිස් හතරක් පැරැණි නීතියක් වන 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන අනු වගන්තිය යටතේ වීමය. 

ගබ්සා නීතිය ලිහිල් කිරීම ගැන නිර්දය විවේචනයක් එල්ල වන්නේ අගරදගුරුහිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාවෙනි. කැබිනට් තීරණය පිළිබඳ සිය අප්‍රසාදය පළකරමින් ශ්‍රී ලංකා කතෝලික සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ දැක්වෙයි. 

කතෝලික සභාව විශ්වාස කරන්නේ, කළලය පිළිසිඳගත් මොහොතේදීම මිනිස් ජීවිතය ඇරඹෙන බවත්, එය ශුද්ධවත් වන අතර කිසිවකුට ජීවිතය කෙලසීමට පිළිසිඳගත් මොහොතේදී පවා අයිතියක් නොමැති බවත් ය. 

මේ අතර පසුගියදා තේවත්ත බැසිලිකාවේ පැවැති දේව මෙහෙයක් අතරතුරදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රකාශ කර සිටියේ සෑම මිනිස් ජීවිතයක්ම දේව කැමැත්ත අනුව සිදුවන්නක් වන බවත් දෙවියන් වහන්සේගේ ඇතැම් සැලසුම් මිනිස් අපට තේරුම් ගැනීමට අපහසු වන බවත් ය. උන්වහන්සේ එහිදී මෙසේ පවසා සිටියහ. 

ගබ්සා නීතිය ලිහිල් කරන්න, ඉස්සෙල්ලා හිටපු රජයත් උත්සාහ කෙරැවා. මේ ළඟදි ඉඳලා ඇහෙනවා මේ දැන් ඉන්න රජයත් ගබ්සා නීතිය ලිහිල් කරන්න හදනවා කියලා. ඊයෙ පෙරේදාත් පුවත්පත්වල තිබුණා ඒක. ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයට විරුද්ධව ප්‍රකාශ පවා ඉදිරිපත් වෙනවා. කතෝලික අපිට ජීවිතය වැදගත්. ජීවිතය උතුම්. ඒ නිසා දරුවෙක් අංග විකලව ඉපදුණා කියලා, බලාපොරොත්තු වුණු ප්‍රමාණයට වඩා දරුවො ලැබුණා කියලා ඒ දරුවා නැති කරදැමීම වරදක්!

කතෝලික සභාව එවැනි මතයක් ප්‍රකාශ කරන්නේ බයිබලයේ දස පනත අනුව යමිනි. එනම් දරු ගැබක් වුවද මිනිස් ජීවිතයක් ලෙස සැලකිය හැකි නිසා ගබ්සාව යනු මිනිස් ජීවිතයක් උදුරා ගැනීම බව කතෝලික සභාවේ ස්ථාවරය වී තිබේ. එම අර්ථයෙන් ගත් කළ කතෝලික සභාවේ අදහසෙහි කිසිදු වැරුද්දක් නැත. 

නමුත් කතෝලික පල්ලියේ ප්‍රධානියා වන ශුද්ධෝත්තම පාප් වහන්සේ ඉකුත් වසරේදී වතිකානුව තුළ ගබ්සාව සම්බන්ධයෙන් යම් ලිහිල් ප්‍රතිපත්තියකට ගමන්කොට තිබීම ද අමතක කළ නොහැක. එනම් ගබ්සා සිදුකළ කාන්තාවන්ට සමාව ලබාදෙන ලෙස සියලු කතෝලික පූජකයන්ගෙන් උන්වහන්සේ ඉල්ලීමක් කර සිටියහ. 

ගබ්සාව දෙයාකාරය. එනම් ස්වභාවික ගබ්සාව සහ සාපරාධී ගබ්සාව යනුවෙන් කොටස් දෙකකි. මින් ස්වභාවික ගබ්සාව ලෙස හැඳින්වෙන්නේ දරු ගැබ නිසා මවගේ ජීවිතයට යම් හානියක් සිදුවේය යන පදනමින් නිත්‍යනුකූල වෛද්‍යවරු විසින් සිදුකරන ගබ්සාවකි. එමෙන්ම එහි තවත් පැත්තක් තිබේ. මවගේ ශරීරය තුළ හටගන්නා යම් රෝගී තත්ත්වයක් නිසා හෝ දරු ගැබේ ශක්තිමත් භාවය නොමැතිවීම ආදී ස්වභාවික හේතුවක් මත දරු ගැබක් කුස තුළදී ඉබේටම විනාශ වී යාම ද ස්වභාවික ගබ්සා තත්ත්වයක් ලෙස හඳුනා ගැනේ. 

සාපරාධී ගබ්සාව ලෙස සලකනු ලබන්නේ හිතාමතාම දරු ගැබ විනාශ කිරීමේ පරමාර්ථයෙන්ම සිදුකරන ගබ්සාවකි. එය සාපරාධී ලෙස හඳුන්වන්නේ ද එනිසා ම ය. නීති විරෝධී ගබ්සා කිරීම් ලෙස හඳුන්වන්නේත් එම තත්ත්වය ය. 

එහෙත් වර්තමාන සමාජ වටපිටාව විසින් නීතිවිරෝධී ගබ්සාවන්ට යොමුවීම සඳහා කාන්තාවන්ට බල කෙරෙමින් තිබේ. ස්ත්‍රී දූෂණ හේතුවෙන් සිදුවන ගැබ්ගැනීම් සඳහා පිළියමක් ලෙස ගබ්සාව ජනප්‍රිය වී තිබෙන්නේ සෑහෙන කලක පටන් ය. ලිංගිකත්වය යන විෂයේදී කාන්තාව බොහෝවිට තැලෙන පොඩිවන මෙරට සමාජ පරිසරයේදී නීති විරෝධී ගබ්සාව දිනෙන් දින වර්ධනය වන්නේ එනිසා ය. ගබ්සාව නීතිගත කළ යුතු නැතැයි පුරුෂ පක්ෂයේ ඇතැමුන් පවසන්නේ එවැනි අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීමක් වුවහොත් එම බර දැනෙන්නේ ස්ත්‍රියට පමණක් නිසා විය හැක. ස්ත්‍රිය පමණක් බඩදරු වීම නිසා මේ ඊනියා සුචරිතවාදීහු ගබ්සාවට විරෝධය පළකරති. 

නමුත් මේ කාරණය අප සැලකිය යුත්තේ වඩා විවෘත සංවේදී මනසකිනි. ස්ත්‍රී දූෂණයකට බඳුන් වූ කාන්තාවකට අපේ සමාජය තුළ උරුම වන්නේ යුක්තිය නොව සමාජ හුදෙකලාකරණය බව කීමට පැකිළිය යුතු නැත. අධිකරණය ඉදිරියේ පිරිමියා වරදකරු වුවද සමාජ අධිකරණය හමුවේ දඬුවමට බඳුන් වන්නේ පීඩාවට පත් කාන්තාවම ය. අවසානයේ දරු ගැබක් නිසා එකී පීඩාව තම ජීවිත කාලය පුරාවම ලැබුණු දඬුවමක් සේ සලකා ජීවත් වීමට ඇයට සිදුවීම ඇගේ අවාසනාවක් සේ සලකා ඉවත බැලීමට නොහැකිය. මන්ද ඈට එසේ සිදුවන්නේ අප ජීවත්වන අපුල සහගත සමාජ වටපිටාව නිසාවෙන් වීමය. 

මෙනිසා ගබ්සා නීතිය ගැන ඝෝෂා කිරීමට පෙර කාන්තාවන්ට අදාළව ගබ්සා නීතියේ ඇති සංවේදී පැතිකඩ විවර කරගත යුතුය. ගබ්සාව නීතිගත කළ යුතුද යන්න ගැන සමාජයේ විසංවාද පවතින විට ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ සාකච්ඡා කළ යුතුය. නමුත් අපේ රටේ විවෘත හා සාධාරණ ප්‍රවේශයක් තුළ නොකෙරෙන්නේත් ඒ සංවාදයමය. අපේ සමහරුන්ට අනුව ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතාකිරීම පවා සදාචාරයට පටහැනි ය.

එහෙත් අද තරුණ පරම්පරාව ලාංකික සමාජය ඒ විවෘත භාවය දෙසට කැඳවාගෙන යමින් තිබේ. මෙහිදී තරුණ පරම්පරාව ලෙස හඳුන්වන්නේ වයස අවුරුදු විස්සේ තිහේ පසුවන සියලුදෙනා නොව නූතන ලෝකය හා බද්ධ වෙමින් අන්තර්ජාලය ඔස්සේ ලෝකය පුරා සිදුවන දෑ පිළිබඳ විමසිලිමත් පරම්පරාවයි. ඔවුන් ගබ්සාව ගැන කතාකරන්නේ තම ආගමික වාර්ගික විශ්වාසයන් පසෙක ලා විවෘත මනසකිනි. එය සුභවාදී ලක්ෂණයක් බව නොකියා බැරිය. 

කෙසේ වෙතත් ගබ්සාව නීතිගත කිරීමට පෙර හෝ අඩුම තරමේ එවැන්නකට සමගාමීව කළ යුතු කාර්යයන් රැසක් තිබේ. ගබ්සාවක් කිරීමට කාන්තාවන් යොමුවන සමාජ හේතු සාධක අවම කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී.  ස්ත්‍රී දූෂණ අවම කිරීම සඳහා අපේ රට තුළ ලිංගික නිදහස මීට වඩා පුළුල් කළ යුතුව ඇතැයි යන්න එක් අදහසකි. ඉන් අදහස් කරන්නේ, මහපාරේ එකිනෙකා සිප වැළඳ ගැනීම නොවුණත් නිදන කාමරයේ අඩ අඳුරට පමණක් අපේ රටේ ලිංගිකත්වය සීමා කළ යුතු නැති බවය. ලිංගිකත්වය හා බැඳුණු කාරණා තවදුරටත් ගූඪ ධර්මතා ලෙස දොර මුල්ලේ නොතියා විවෘතව ඒ ගැන කතාබහ කළ යුතුය. 

එමෙන්ම උපත් පාලන ක්‍රමවේද සහ පවුල් සැලසුම් ක්‍රමවේද පිළිබඳ නිසි දැනුමක් ජනතාවට ලබාදීම තවත් පියවරකි. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල තවමත් පවුල් සැලසුම් ක්‍රමවේද ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වන්නේ නැති බව තමන්ගේ පවුල් ආර්ථිකයට දැරිය නොහැකි තරමින් දරුවන් හදනා ගැමි පවුල් දෙස බැලූ විට පෙනී යයි. ග්‍රාමීය ආර්ථිකයේ දුබලතාවට ද එය එක් හේතුවකි. 

අනෙක් අතට නීති විරෝධී ගබ්සාව නිසා කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන සෞඛ්‍ය ගැටලු ද සලකා බැලීම වටී. නීතිවිරෝධී ගබ්සා කිරීම් වෙනුවෙන් බොහෝවිට පෙනී සිටින්නේ හොර වෙද්දු ය. කම්බි කූරු ගර්භාෂයට රිංගවීම වැනි අතිශය අනතුරුදායක හා ප්‍රතික්ෂේපිත ක්‍රමවේද භාවිතාව හේතුවෙන් අදාළ කාන්තාවට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය හැක. විශේෂයෙන්ම ගර්භාෂයේ තුවාල, ප්‍රජනන පද්ධතියට සිදුවන හානි මෙන්ම නීතිවිරෝධී ගබ්සාව නිසා ඇතිවන මානසික පීඩාව ආදිය එම කාන්තාවන්ගේ අනාගතයට ඍජුව බලපෑම් එල්ල කරන බව තහවුරු වී තිබේ. 

එනිසා අප කළ යුත්තේ සමාජ සංවේදී බව මත පිහිටා ගබ්සාවට යම් ලිහිල් බවක් ලබාදෙන අතරේදීම ගබ්සාවට තුඩු දෙන සමාජ හේතු එකිනෙක සමාජයෙන් පලවා හැරීම ය. එවන් දියුණු සමාජයක් තුළදී ගබ්සාව තවදුරටත් සමාජ මාතෘකාවක් ද නොවනු ඇත. 

 රජිත ජාගොඩ ආරච්චි

0 comments: